ව්‍යාජ මුහුණු ආවරණ ජාවාරමක්



ඇමෙරිකාවේ ප්‍රාන්ත හයක ප්‍රධාන රෝහල්වලට ව්‍යාජ ‘3 එම්. එන් 95’ වර්ගයේ මුහුණු ආවරණ විකණීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට ෆෙඩරල් පරීක්ෂකයෝ සමත් වී සිටිති.

මෙම ජාවාරම අනාවරණය කර ගැනීමට සමත් වී ඇත්තේ ඇමෙරිකාවේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් ‘හෝම්ලෑන්ඩ් සෙකියුරිටි’ ය.

මෙම ව්‍යාජ මුහුණු ආවරණ භාවිතා කර ඇත්තේ රෝහල්වල ඉදිරි පෙළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ වෛද්‍ය ආධාරකරුවන් බව පැවැසෙයි. එමගින් ඔවුන්ගේ ජීවිත අනතුරේ වැටී ඇති බව හෝම්ලෑන්ඩ් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

‘මෙම ව්‍යාජ මුහුණු ආවරණ විදේශයකින් ආනයනය කළ ඒවායි. මේවා රෝහල්වලට විකිණීමේ ජාවාරම පසුපස විදේශ සමාගම්වලට යටත් වූ ඇමෙරිකන් ව්‍යාපාරිකයන් කීප දෙනකු ද සිටින බව හෙලි වී තිබෙනවා’ යැයි හෝම්ලෑන්ඩ් සහකාර ප්‍රධානී ස්ටීව් ෆ්‍රැන්සිස් පැහැදිලි කර තිබේ.

හෝම්ලෑන්ඩ්  පරීක්ෂකවරුන්, පොලිස් නිලධාරීන් සමඟ එක් වී වැටලීම් 1,250 ක් සිදු කළ බවත්, එහිදී ව්‍යාජ මුහුණු ආවරණ මිලියන 10 ක් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS