වසර හතක සිර දඬුවමක්



පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතාට එරට දූෂණ විරෝධී අධිකරණයක් මගින් වසර හතක සිර දඬුවමක් නියම කළේය.

මෙම සිරදඬුවම දේශපාලන වුවමනාවක් මත සිදු වූවක් යැයි චෝදනා ප්‍රතික්ෂේප කරමින් හිටපු අගමැතිවරයා පවසා ඇත.

සෞදි අරාබියේ තිබෙන හිටපු අගමැතිවරයාට අයත් වානේ කම්හල ආරම්භ කිරීම සඳහා මුදල් ලැබුණේ කෙසේ දැයි අධිකරණයට දැන්වීමට අසමත් වීම හේතුවෙන් ඔහුට එලෙස සිර දඬුවම් නියම වී ඇතැයි පාකිස්තානයේ ‘ජියෝ නිව්ස්’ පුවත් සේවය වාර්තා කළේය.

තෙවරක් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබ වූ නවාස් ෂරීෆ් මහතාට දූෂණ චෝදනා එල්ල වී තිබෙන අතර පසුගිය ජූලි මාසයේදී ඔහුට වසර 10ක සිර දඬුවමක් නියම කළේය. ලන්ඩන් නුවර පිහිටි නිවාස සංකීර්ණයක් මිලදී ගත්තේ කෙසේ ද සහ ඊට මුදල ලැබුණේ කෙසේද යන්න අනාවරණය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහු එම සිර දඬුවමට ලක්විය.

අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසුව හිටපු අග්‍රාමාත්‍යවරයා ඇප මත නිදහස් කිරීමට එරට අධිකරණයක් පසුගිය සැප්තැම්බර් මාසයේදී තීන්දු කළේය.

සෞදි අරාබියේ තිබෙන හිටපු අගමැතිවරයාට අයත් වානේ කම්හල පිළිබඳ චෝදනා විභාගයට ගැනුණේ ඉන් අනතුරුවය.
ධුර කාලය අවසන් වීමටත් මත්තෙන් හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා දූෂණ චෝදනා හේතුවෙන් ධුරයෙන් ඉවත් කර ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට නුසුදුස්සකු ලෙස නම් කිරීමට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීන්දු කර තිබිණි.  

හර්ෂණ තුෂාර සිල්වා
අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS