වසර 4 කින් ආපසු එනවා



සිවු වසරකින් තමන් යළි ඇමෙරිකා ජනාධිපති ලෙස බලයට පැමිණෙන බව ධුරයෙන් ඉවත්ව ගිය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ රටක් බවත්, ඇමෙරිකාව තව දුරටත් ශ්‍රේෂ්ඨ රටක් බවට පත් කිරීමට තමාගේ නායකත්වය අවශ්‍ය බවත් 75 හැවිරිදි වියෙහි පසුවන ට්‍රම්ප් පෙන්වා දී තිබේ.

පසුගිය 6 වැනිදා වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදුණේ ට්‍රම්ප්ගේ ආධාරකරුවන්ය. එම ආධාරකරුවන් ‘උසි ගැන්වූයේ’ ට්‍රම්ප් යැයි චෝදනා එල්ල වී තිබේ.

කොංග්‍රසය (පාර්ලිමේන්තුව) හමුවේ, ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූයේ ද මේ නිසාය. එම දෝෂාභියෝගය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවේදී ට්‍රම්ප් පරාජයට පත් විය.

ලබන පෙබරවාරියේ දේෂාභියෝගය සෙනට් මණ්ඩලයට යොමු කෙරනු ඇති අතර, එහිදී දෝෂාභියෝගයට ඇතුළත් චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් ද පැවැත්වෙයි.

කොංග්‍රසයේ කටයුතුවලට බාධා කරමින්, බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කිරීම ආදී චෝදනා ඊට ඇතුළත් වන අතර, ට්‍රම්ප් එම චෝදනාවලට වරදකරු වුවහොත් ඔහුට සිරදඬුවම් නියම වනු ඇතැයි පැවැසෙයි.

පසුගිය 20 වැනිදා නව ජනාධිපති ලෙස ජෝ බයිඩන්ගේ දිවුරුම්දීම සිදුවිය. ට්‍රම්ප් එම අවස්ථාවට සහභාගී වූයේ නැත. ඒ, බයිඩන්ගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කරන බැවිනි.

ධුරයෙන් සමුගෙන යද්දී තමන් නව දේශප්‍රේමී පක්ෂයක් පිහිටුවන බවත්, සැබෑ පුවත් ඇමෙරිකානුවන්ට දැන ගැනීමට මාධ්‍ය ජාලයක් පිහිටුවන බවත් ට්‍රම්ප් පවසා තිබේ. ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයෙකි.

(රොයිටර්)


RECOMMEND POSTS