ලොස් ඇන්ජලීස් ළැව් ගිනි



මහ වැසි සහ ජල ගැලීම්වලින් ඇමෙරිකාවේ ටෙක්සාස් සහ ලුවිසියානා ජනපද වැසියන් පීඩාවට පත්ව සිටිද්දී, කැලිෆොනියානේ ලොස් ඇන්ජලීස් නුවර ළැව් ගිනි පැතිර යමින් ඇති බවත්, ළැව් ගිවි හේතුවෙන් ලක්ෂ ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගත් බවත් වාර්තා වේ.

ළැව් ගිනි පැතිර යෑම ඇරැඹුණේ පසුගිය සිකුරාදා දිනයේ සිටය. මේ වනවිට අක්කර 5,000 ක් ළැව්ගින්නෙන් විනාශ වී ඇතැයි ද වාර්තා වේ. ලොස් ඇන්ජලීස් ගිනි නිවන භටයන් පැවැසුවේ බර්බැන්ක් පළාතේ නිවාස 200 ක් විනාශ වී ඇති බවය.

ඊයේ (3) වෙද්දී ළැව් ගින්න පැතිරීම සියයට 10 කින් අඩු කිරීමට හැකිවුණු බව ගිනි නිවන භටයෝ පැවැසූහ.

සුළං හේතුවෙන් ගින්න පාලනය කර ගැනීම ගිනි භටයන්ට ගැටලුවක් වී ඇතැයි ද පැවැසෙයි. ගිනි භටයන් 500 කට අසන්න පිරිසක් ගින්න සමඟ සටන් කරන බව ද ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

හෙලිකොප්ටර් සහ ගුවන් යානා යොදා ගනිමින් ගින්න නිවා දැමීමට රසායනික දියර සහ ජලය ඉසීම නොකඩවා සිදු කරන බව ද ලොස් ඇන්ජලීස් ගිනි භටයෝ කියති.

(ඬේලිමේල්)


RECOMMEND POSTS