ලිංගික හිරිහැර කළැයි ඉම්රාන් ඛාන්ට චෝදනා



පාකිස්තාන විපක්ෂ නායක මෙන්ම, ඉදිරි මහ මැතිවරණයේ දී අගමැති ධුරයට පත්වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කරන හිටපු ක්‍රිකට් විරුවකු ද වන ඉම්රාන් ඛාන්, සිය පක්ෂයේ මන්ත්‍රීවරියකට ලිංගික හිරිහැර සිදුකළේ යැයි චෝදනා එල්ල වී ඇත.

චෝදනා එල්ල වී ඇත්තේ, ඉම්රාන් ඛාන්, සිය ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ප්‍රමුඛ පෙළේ මන්ත්‍රීවරියක වන අයේෂා ගුල්ලාලායිට ලිංගික හිරිහැර කළ බවටය.

64 හැවිරිදි ඉම්රාන් ඛාන්, අවස්ථා ගණනාවකදී, ලිංගික ඇසුරක් ආරාධනා කරමින් තමාට දුරකතන ඔස්සේ කෙඩි පණිවුඩ එවා ඇති බව අයේෂා ගුල්ලාලායි කියා සිටී. ඉම්රාන්ගෙන් ලැබුණු එම කෙටි පණිවුඩ අයේෂා ගුල්ලාලායි විසින් මේ වනවිට ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇත.

එම චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදඑස් දක්වමින් ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ මෙය තම කීර්ති නාමය කෙළසීමටත්, තමා මීළඟ පාකිස්තාන මහ මැතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමටත් කළ කුමන්ත්‍රණයක් කියාය. ඉම්රාන් ඛාන් සෘජුවම චෝදනා කරන්නේ, අයේෂා ගුල්ලාලා පාලක මුස්ලිම් ලීගය නවාම් පක්ෂයේ මුදලට යටවී තමන්ට බොරු චෝදනා කරන බවය.

‘පැහැදිලියි මේක කුමන්ත්‍රණයක්. මුස්ලිම් ලීගය පක්ෂය මීට පෙරත් මෙවැනි පහත් ක්‍රියා සිදු කර තිබෙනවා. මම අගමැති ධුරයට පත් වීම වැළැක්වීමටයි ඔවුන් උත්සාහ ගන්නේ. ඔවුන්ට මා තර්ජනයක් බව පැහැදිලියි’ යැයි මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඉම්රාන් වැඩි දුරටත් කියා සිටී.

ඉම්රාන් ඛාන් දෙවරක් විවාහ වූ අයෙකි. ඔහුගේ පළමු බිරිඳ ජෙමයිමා ගෝල්ඞ්ස්මිත්ය. ඔවුහු දෙදෙනා 1995 වසරේ විවාහ වූ අතර 2004 දී දික්කසාද වූහ. බි්‍රතාන්‍ය ජාතිකයකු ද වන ජෙමයිමා ගෝල්ඞ්ස්මිත් මාධ්‍යවේදිනියකි. මැය යුරෝපයේ පළ වන ‘වැනිටි ෆෙයාර්’ සඟරාවේ කතුවරිය ලෙස කටයුතු කළාය. ඉම්රාන් ඛාන් සිය  දේශපාලන කටයුතු ආරම්භ කළේ මැයගේ සහායෙනි.

2015 දී ඉම්රාන් යළි විවාහ විය. එම විවාහය පැවැතියේ මාස කිහිපයක් පමණි. ඉම්රාන් දෙවැනිවර විවාහ වූයේ රිහාම් ඛාන් සමඟය. විවාහය එම 2015 වසරේදීම අවසන් විය. රිහාම් ඛාන්, බී.බී.සී පුවත් නාළිකාවේ කාලගුණ වාර්තා ඉදිරිපත් කළ නිවේදිකාවකය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS