ලන්ඩන් ගින්නෙන් මියගිය ගණන 6 ක්



බටහිර ලන්ඩනයේ මහල් නිවාස ගොඩනැගිල්ලක හටගත් ගින්නෙන් මියගිය ගණන මේ වනවිට 6 දක්වා ඉහළ ගොස් ඇති බවත් තුවාල ලැබූ ගණන 75 ක් බවත් වාර්තා වේ.

ගින්න හටගත්තේ ලන්ඩන් වේලාවෙන් අලුයම 1 ට පමණය. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. ‘ග්‍රෙන්ෆිල් ටවර්’ යන නමින් හැඳින්වෙන මෙම මහල් නිවාස ගොඩනැගිල්ල දිළිඳු සහ ආබාධිත පුද්ගලයන්ගේ නවාතැනක් යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ ලන්ඩනයේ උතුරු කෙන්සින්ටන් පළාතේය.

මහල් 24 කින් සමන්විත ගොඩනැගිල්ල මිනිත්තු කීපයක් ඇතුළතදී මුළුමනින්ම දැවී අළු වුණු බව පැවැසෙයි. පුද්ගලයන් රැසක් අතුරුදන් බව ද වාර්තා වේ. ගින්නෙන් බේරීමට ඉහළ මහලවලින් පිටතට පැන්න පිරිස් ද තුවාලකරුවන් අතර වෙති. බොහෝ දෙනකු රෝහල් ගතකර ඇත්තේ දුම් ආඝ්‍රාණය වීමෙනි. මියගිය සහ තුවාල ලැබූවන් අතර කුඩා දරුවෝ ද වෙති.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පරීක්ෂණ දිගටම පැවැත්වෙයි. ගින්න හටගත් අවස්ථාවේ, ගිනි අනතුරු සංඥා නාද නොවුණු හෙයින් මහා විනාශයක් සිදුවුණු බව මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.

මේ අතර ලන්ඩනයේ සෙසු මහල් නිවාස සංකීර්ණවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ද සොයා බැලීම් කරන බව ලන්ඩන් පුරපති සිදීක් ඛාන් පවසා ඇත.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS