රුසියාව ඇමෙරිකාවේ පරිගණක පද්ධතියට රිංගූ බව ට්‍රම්ප් පිළිගනී !



ඩිමොක්‍රටික් පක්ෂයේ ඊමේල් අනවසරයෙන් ලබාගත් බවට රුසියාවට එල්ල වූ චෝදනා ප්‍රථම වරට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පිළි ගෙන තිබේ. 

පසුගිය ඇමෙරිකානු ජනපතිවරණයේදී රුසියාව ඩිමොක්‍රටික් පක්ෂයේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වූ බවට ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විශ්වාස කරන බව ට්‍රම්ප් ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී රෙයින්ස් ප්‍රීබස් පැවසීය. 

මීට පෙර අවස්ථා කිහිපයකදීම රුසියාවට එල්ල වූ චෝදනා ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර ඔහු පැවසුවේ එම සිදුවීම පිටුපස චීනය හෝ වෙනත් රටක් සිටින බවයි.

ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් අවමානයට පත් කිරීම සඳහා කළ සයිබර් ප්‍රහාරයට රුසියානු ජනාධිපතිවරයා සම්බන්ධ වූ බවට ඇමෙරිකානු බුද්ධි අංශ පසුගිය සතියේ වාර්තාවක් නිකුත් කළ අතර එම වාර්තාව නව ජනාධිපතිවරයා පිළිගන්නා බවත් ඊට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රීබස් විසින් සඳහන් කර ඇත.

ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට සති දෙකක් තිබියදී මෙම චෝදනා පිළිගැනිමට මූලික හේතුව ට්‍රම්ප්ට සිය පාක්ෂිකයන්ගෙන් එල්ල වූ බලපෑම බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

මේ සම්බන්ධයෙන් රුසියාව පළමු වරට නිළ ප්‍රකාශයක් කරමින් රුසියානු ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු වන දිමිත්‍රි පෙස්කොෆ් මොස්කව් පාලනය එම චෝදනාව ඕනෑවටත් වඩා අසා ඇති බව කියා සිටියි.රුසියාවට චෝදනා කරමින් බුද්ධි අංශ විසින් නිකුත් කරන ලද එම වාර්තාව 'පදනම් විරහිත' බව දිමිත්‍රි පෙස්කොෆ් වැඩි දුරටත් පවසා සිටියි. 

 


( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි........


RECOMMEND POSTS