රාවණා හොඳයි කී ඉන්දීය කාටූන් ශිල්පිණියට තර්ජන



ඉන්දියාවේ පසුගිය දිනවල දැරියන් කිහිප දෙනකු අතවරයට ලක් වුණු අතර, එම සිද්ධීන් පාදක කර ගනිමින් හා හින්දු ජාතිකවාදී බලධාරීන් විවේචනයට ලක් කරමින් නිර්මාණය කළ කාටූනයක් හේතුවෙන් ඉන්දීය කාටූන් ශිල්පිණියකට මරණීය තර්ජන එල්ල වී ඇත.

කාටූනය නිර්මාණය කරනු ලැබ ඇත්තේ ස්වාතී වද්ලමුණ්ඩි විසිනි. ඇය මාධ්‍යවේදිනියක ද වන්නීය. ඇගේ කාටූනයෙන් නිරූපණය වන්නේ සීතා කුමරිය සහ රාමා කුමරු අතරේ දෙබසකි. සීතා කුමරියගේ අතේ ඉන්දීය පුවත්පතක් ඇත. එහි සිරස්තල කිහිපයක දැක්වෙන්නේ තරුණියන් සහ දැරියන්ට සිදුවුණු අතවර සම්බන්ධයෙනි. ‘ඔබේ පිරිවරට වඩා රාවණා මාව පැහැරගත් එක ගැන මට සතුටුයි.’ යැයි සීතා කුමරිය කියයි.

කාටූනයට සිය විරෝධය පළ කරන දක්ෂිණාංශික හින්දු ජාතිකවාදීන් ස්වාතී වද්ලමුණ්ඩිට මරණ තර්ජන කර ඇත්තේ අන්තර් ජාලය හරහා යැයි ද පැවැසෙයි. කෙසේ නමුත් ස්වාතී වද්ලමුණ්ඩි පවසා ඇත්තේ තමන් එම තර්ජනවලට බියක් නොදක්වන බවය. එම තර්ජන හරහා තමන් තවත් ශක්තිමත් වුණු බව ද ඇය පවසා ඇත.

ඉන්දියාවේ පාලනයට නතුවී පවතින කාශ්මීරයේ මීට දින කීපයකට පෙර කාතූ දිස්ත්‍රික්කයේ අට හැවිරිදි මුස්ලිම් දැරියක සමූහ දූෂණයට ලක් වී ඝාතනය වූවාය. දැරියට එම අපරාධය කළැයි චෝදනා ලැබූවන්ට භාරතීය ජනතා පක්ෂයේ හින්දු ජාතිකවාදී ඇමැතිවරුන් දෙදෙනකුගේ ආරක්ෂාව හිමිවන බව පැවැසෙයි. ඊට අමතරව, 16 හැවිරිදි දැරියක දිවි නසා ගත් පුවතක් ද වාර්තා විය. ඒ, ඇය භාරතීය ජනතා පක්ෂයේ ඇමැතිවරයකු අතින් දූෂණයට ලක් වීම නිසාය.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට ලන්ඩන් නුවරට ගොස් සිටින ඉන්දීය අගමැති මෝදි මහා බි්‍රතාන්‍යයේ වෙසෙන ඉන්දියානුවන් පිරිසක් හමුවිය. එම අවස්ථාවේදී, ඉන්දියාවේ දැරියන් දූෂණය වීම සම්බන්ධයෙන් අගමැති මෝදි කරුණු පැහැදිලි කිරීමක් කළේය.

ඉන්දීය අගමැතිවරයා අවධාරණය කළේ දැරියන් අතවරයට ලක්වීම දේශපාලනකරණයකට ලක් කිරීමට ප්‍රතිවාදීන් උත්සාහ ගන්නා බවය. එය එසේ නොවිය යුතු බවත්, ස්ත්‍රී දූෂකයන්ට තමන් කිසිදු සමාවක් ලබා නොදෙන බවත්ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS