රජයක් පිහිටුවන්න අන්වර් ඊබ්‍රහීම් සූදානම්



රජයක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ බහුතර බලය තමන්ට ඇතැයි මැලේසියානු විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහීම් පවසයි.

විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහීම් මෙසේ පැවැසුවේ, මැලේසියාවේ සුල්තාන් අබ්දුල්ලා සුල්තාන් අහ්මද් සාහා රජු හමුවෙමිනි. එම අවස්ථාවේදී, අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන මුහිද්දීන් යසීන් බලයෙන් පහකිරීමට හැකි බවත්, පාර්ලිමේන්තුවේ බහුතරයකගේ සහාය තමන්ට හිමිවනු ඇති බවත් විපක්ෂ නායකවරයා රජුට පෙන්වා දුන්නේය.

අන්වර් රජුට පවසා ඇත්තේ ආසන 222 කින් සමන්විත පාර්ලිමේන්තුවෙන් 120 දෙනකුගේ බලය තමන් වෙත ලැබී ඇති බවය. තමන්ට සහාය ලබා දීමට කැමැත්ත පළ කර ඇති පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ විස්තර ඇතුළත් නාම ලේඛනයක් ද අන්වර් ඊබ්‍රහීම්, මැලේසියානු රජුට ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වේ.

පැයකට ආසන්න කාලයක් රජු සමග සාකච්ඡා පැවැත්වීමෙන් පසු, මාලිගාවෙන් පිටවී යද්දී, විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහීම් මධ්‍ය හමුවේ පැවැසුවේ, ඉදිරියේ දී තමන් වැදගත් තීරණයක් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවය.

අන්වර් ඊබ්‍රහීම්ගේ ප්‍රතිසංස්කරණවාදී සන්ධානය රජය පරාජය කරමින්, මුහයිදීන් යසීන් රජයක් පිහිටුවූයේ පසුගිය මාර්තු මාසයේදීය. මුහිද්දීන් යසීන් පවසා ඇත්තේ, ඊබ්‍රහීම්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැති බවය.

කෙසේ නමුත්, මුහිද්දීන් යසීන්ගේ සන්ධාන රජය මේ වනවිට අභ්‍යන්තර මත ගැටුම් හේතුවෙන් දෙදරා ගොස් ඇතැයි මැලේසියානු දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මුහිද්දීන් යසීන්ගේ රජය අර්බුද රැසකට මුහුණ පා සිටින අතර, රම අර්බුදවලට හේතුව වී ඇත්තේ රටට අභියෝගයක් වූ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයයි.

73 හැවිරිදි අන්වර් ඊබ්‍රහීම් පසුගිය දශක දෙක පුරාවට වසර 10 ක් බන්ධනාගාරගතව සිටියේය. දේශපාලන ප්‍රතිසංස්කරණ හදුන්වාදීමට ගන්නා උත්සාහයන් හේතුවෙන්, අන්වර් ඊබ්‍රහීම් ජනතා ප්‍රසාදය දිනා සිටී.

ක්වාලාලාම්පූර්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS