රජ පවුලේ කෙණෙහිලිකම්



රජ පවුලේ සාමාජිකාවක වීම හේතුවෙන් තමන් වර්ගවාදයටත් මානසික පීඩාවලටත් ගොදුරු වූ බව සසෙක්ස් හි ආදිපාදවරිය සහ හැරී කුමරුන්ගේ බිරිඳ වන මේගන් මර්කෙල් සඳහන් කළාය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.බී.එස්. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය රජ මාලිගය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණය කළාය. සුප්‍රකට ඔෆ්රා වින්ෆ්‍රි මෙම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූවාය . මේගන් මර්කෙල් මෙම සම්මුඛ සාකච්ඡාවේදී ඉතා සංවේදී වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

රජ පවුලෙන් එල්ල වූ වර්ගවාදය සහ මාධ්‍යයේ හැසිරීමේ හේතුවෙන් තමන්ට සියදිවි නසා ගැනීමට පවා සිතුණු බව මේගන් මර්කෙල් මෙම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළාය.

‘‘මට තවත් ජීවත් වෙන්න හිතුනේ නැහැ’’ යැයි ඇය එහිදි කීවාය.

මෙම සම්මුඛ සාකච්ඡාවෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින ප්‍රමුඛ පෙළේ සහ සුප්‍රකට කළු ජාතික කාන්තාවන් රැසක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි.

‘‘ව්‍යුහගත හා පද්ධතිගත පීඩා කිරීම්, ගොදුරු කරගැනීම මහ ව්‍යවසනයක්. ඒ වගේම මෙවැනි සිදුවීම් හුදෙකලා කිරීම මාරාන්තික’’ යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝ ප්‍රකට ටෙනිස් ක්‍රීඩිකාවක හා තරුවක වන සෙරීනා විලියම්ස් සඳහන් කළාය. ඇය. මේගන් මර්කෙල් ගේ මිතුරියක් ද වන්නී ය.

මේගන් සහ හැරී කුමරු රජ පවුල සම්බන්ධයෙන් කර තිබෙන ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් රජ පවුල තවමත් ප්‍රතිචාර දක්වා නැත.

මේගන් මර්කෙල් මේ වනවිට ගර්භණී තත්ත්වයේ පසුවන අතර හැරී සහ ඇය දියණියක අපේක්ෂාවෙන් පසුවෙති.

‘‘රාජකීයත්වය කියන්නේ වර්ගවාදයෙන් සහ වැනසීමෙන් බේරෙන්න පළිහක් නොවේ’’ යැයි මෙම සිදුවීමෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මාර්ටින් ලූතර් කිංගේ දියණිය වන බර්නිස් කිං සඳහන් කළාය.

මේගන් සහ හැරීගේ පළමු දරුවා වන ආර්චි කුමරුට කළු සමක් ලැබේවිද යන්න සම්බන්ධයෙන් රජ පවුල තුළ විවිධ මත පළ වූ බවත් ඔහුට කළු සමක් තිබුණහොත් රාජකීයත්වය අහිමි කිරීමට රජ පවුලේ ඇතැම් අය වුවමනාවක් තිබුණු බවත් මෙම සම්මුඛ සාකච්ඡාවේදී හැරී සහ මේගන් යුවල අනාවරණය කළහ.

මෙම සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් එය මෙහෙය වූ ඔෆ්රා වින්ෆ්‍රි ද අදහස් දක්වා තිබිණි.

මෙම සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ කාලය පැය තුනකට වඩා වැඩි වන අතර එය ඇමෙරිකාවේ විකාශය කිරීම සඳහා පැය එකහාමාරකට ආසන්න කාලයකට සංස්කරණය කර තිබිණි.

මෙම සම්මුඛ සාකච්ඡාවේ තමන්ගේ වැදගත්ම ප්‍රශ්නය වූයේ ඔවුන් රජ මාලිගයෙන් නික්ම යෑමට තීරණය කළේ ඇයි ද යන්න විමසීම යැයි ඔෆ්රා වින්ෆ්‍රි ප්‍රකාශ කළාය.

ඊට පිළිතුරු දුන් හැරී කුමරු මෙසේ කීය.

‘‘ඔබ දන්නවා, මෙතැන මෙහෙම ඉඳගෙන ඉන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒක හරි නිදහසක්. මගේ බිරිඳ සමඟ ඉදගෙන මෙතැන කතාකරන්න ලැබීම සතුටක්. ඇය මගේ ළඟ ඉන්නවා. මට හිතාගන්න බැහැ මගේ අම්මා (ඩයනා කුමරිය) මේ දේවල් කොහොම විඳ දරාගත්ත ද කියලා. මට වැඩියෙන්ම හිතුවේ ඉතිහාසය නැවත සිදුවේවිද කියන දේ. මට මගේ අම්මට වුණ දේවල් මගේ බිරිඳට වෙනවා දකින්න ඕනෑ වුණේ නැහැ’’.

බී.බී.සී. ඇසුරිනි


RECOMMEND POSTS