යුද්ධයක් ඇතිවෙන්න ඉඩ දෙන්නේ නෑ



ඇමෙරිකාවේ සම්බාධකවලට විරෝධය පළ කරමින් ඇමෙරිකාවට පහර දෙනවා යැයි තර්ජනය කරන උතුරු කොරියාව මුල්කොට ගනිමින්, කොරියානු අර්ධද්වීපයේ යුද්ධයක් නිර්මාණය වීමට තමා කිසිසේත් ඉඩ නොදෙන බව දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් පොරොන්දුවක් දුන්නේය.

“කිසිම අවස්ථාවක උතුරු කොරියාව මුල්කර ගනිමින්, කොරියානු අර්ධද්වීපයේ යුද්ධයක් ඇති වෙන්නේ නැහැ. ඇතිවෙන්න මම ඉඩ තියන්නෙත් නැහැ.” යැයි දකුණු කොරියානු ජනාධිපති මූන් මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.
මූන් ජේ ඉන් දකුණු කොරියාවේ ජනපති ධුරයට පත් වී දින 100 ක් ගත වී ඇත. මාධ්‍ය හමුව පැවැත්වූයේ ඒ නිමිත්තෙනි.

දකුණු කොරියානු ජනාධිපති මූන්, ජනපති ධුරයට පත් වූයේ ද උතුරු කොරියාව සමඟ නොගැටී සාකච්ඡා මාර්ගයෙන් පවතින ගැටුම් විසඳා ගැනීමට උත්සාහ කරන බවට ප්‍රතිඥා දෙමිනි.

කොරියානු යුද්ධයෙන් පසු වෙන් වී සිටියත්, උතුරු කොරියාවේත් දකුණු කොරියාවේත් සිටින්නේ එකම ජාතියකි.
දකුණු කොරියා ජනපති මූන්ගේ මැදිහත් වීමෙන්, මීට සති කිහිපයකට පෙර උතුරු කොරියා නියෝජිතයන් සහ දකුණු කොරියා නියෝජිතයන් අතරේ දෙරට දේශසීමාවේ සාකච්ඡාවක් ද පැවැත්විණි.

උතුරු කොරියාවේ ‘හිතුවක්කාරී’ මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති නමුත් ජනපති මූන් පවසා ඇත්තේ සම්බාධක පැනැවීමෙන් උතුරු කොරියාව මට්ටු කළ නොහැකි බවය.

ඇමෙරිකන් සම්බාධකවලට විරෝධය පාමින්, උතුරු කොරියාව ඇමෙරිකාවට අනතුරු අඟවා ඇත්තේ ඇමෙරිකාවට අයත් පැසිෆික් සාගරයේ පිහිටි ‘ගුආම්’ නමැති කුඩා දූපතට පහර දෙන බවටය. කෙසේ නමුත් කෙසේ නමුත්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් පෙරේදා ප්‍රකාශ කර තිබුණේ ‘ගුආම්’ දූපතට පහර දීම ප්‍රමාද කිරීමට තමා තීරණය කළ බවය.

ගුආම් දූපත පිහිටා ඇත්තේ  උතුරු කොරියාවේ සිට සැතපුම් 2,128 ක් දුරිනි. එහි ඇමෙරිකන් හමුදා කඳවුරක් පිහිටා තිබේ. ‘ගුආම්’ දූපත පාලනය කරන්නේ ඇමෙරිකන් ආණ්ඩුකාරවරයකුය. ගුආම් දූපතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන්නේ එඩී කැල්වෝය.

(රොයිටර්)


RECOMMEND POSTS