යුක්රේනයත් රුසියාවත් අතර සිරකරු හුවමාරුවක්



පවතින අර්බුදකාරී තත්ත්වය යම්තාක් දුරකට මඟ හරවා ගැනීමේ අරමුණ ඇතිව යුක්රේනය සහ රුසියාව අතර සිරකරු හුවමාරුවක් සිදුවිය.

රුසියානුවන් ඔවුන් විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි යුක්රේන ජාතික නාවිකයන් 24 දෙනකු, යුක්රේනය ඔවුන් විසින් අත්අඩංගුවට ගෙන නඩු විභාගයකින්  පසු සිර දඬුවම් ලබා දුන් රුසියානු ජාතික ව්ලොදිමීර් සෙම්මක් වෙනුවෙන් හුවමාරු කෙරුණු බව වාර්තා වේ.

ව්ලොදිමීර් සෙම්මක්

58 හැවිරිදි ව්ලොදිමීර් සෙම්මක් එම්.එච් 17 මගී ගුවන් යානය කඩා වැටීමේ සිදුවීමට සම්බන්ධ, එම සිද්ධියේ සුලමුල දන්නා අයකු යැයි පැවැසෙයි. ව්ලොදිමීර් සෙම්මක් නිදහස් කරමින් රුසියාවට බාරදීම සිදුවූයේ යුක්රේන අධිකරණය ලබා දුන් විශේෂ මුදා හැරීමේ නියෝගයකට අනුවය.

එම්.එච් 17 යනු මැලේසියා ජාතික ගුවන් සේවයට අයත් මගී යානයකි. මෙම යානය මගීන් 283 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 15 දෙනකු ද සමඟ 2014 ජූලි 17 වැනිදා ඇම්ස්ට්‍රඩාම් සිට ක්වාලාලාම්පූර් බලා පියාසර කරන්න වූයේ නැගෙනහිර යුක්රේනයට ඉහළිනි. යුක්රේනයේ සිට එල්ල වූ සතුරු ප්‍රහාරයකට හසුවී යානය කඩා වැටී එහි සිටි සියල්ලෝම ජීවිතක්ෂයට පත් වූහ.

සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයේ යුක්රේනය එහි කොටසක් විය. සෝවියට් සමූහාණ්ඩුව කඩා වැටීමෙන් පසු වෙනම රාජ්‍යයක් වුණු යුක්රේනය, රුසියාව අතහැර යුරෝපා රටවල් සමඟ වැඩි සබඳතා පැවැත්වීය. 2014 දී, රුසියාව යුක්රේනයේ ක්‍රෙමියා අර්ධද්වීපය බලයෙන් අල්ලා ගත්තේය. ක්‍රෙමියා වැසියන් රුසියාව සමඟ එක්වීමට කැමැත්ත දැක්වීය.

ඒ සමඟ  යුක්රේනයත් රුසියාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය විය. රුසියාවේ සහාය ලබන බෙදුම්වාදී යුක්රේන සන්නද්ධ කණ්ඩායම් සහ යුක්රේන රජයේ හමුදා අතරේ අවි ගැටුම් හටගත්තේය. මැලේසියානු ගුවන් සේවය කඩා වැටුණේ දෙපිරිස අතර අවි ගැටුම් පවතිද්දී, යුක්රේනයට ඉහළින් පියාසර කරමින් සිටි අවස්ථාවේදීය.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS