මෝදිගේ රජයට සහාය දෙනවා



 

‘කොවිඩ් 19’ කොරෝනා වසංගතය පාලනය වනතුරු, කොන්දේසි විරහිතව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජයට සහාය පළ කරන බව, ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂය පවසයි.

“කොරෝනා අඩපණ කිරීමට නම් පක්ෂ හෝ පාට භේදයකින් තොරව, සියලු දේශපාලන පක්ෂ එකමුතු වෙන්න ඕනෑ. මේ වෙලාවේ මෝදි රජයට අප කොන්දේසි විරහිතව සහාය පළ කරනවා” යැයි කොංග්‍රස් පක්ෂ ජ්‍යෙෂ්ඨ නායිකා සෝනියා ගාන්ධි පවස ඇත.

“කොරෝනා වසංගතය ඔබට හෝ මට පමණක් නොව අප හැමෝටම පොදු ව්‍යසනයක් බවට පත් වී අවසන්. දේශපාලනික වශයෙන් බෙදී වෙන්වී කොරෝනා මර්දනය කරන්න බැහැ. ඒ බව මෝදි රජය වටහා ගන්න ඕනෑ” යැයි කොංග්‍රස් පක්ෂ නායක, සෝනියාගේ පුතු රාහුල් ගාන්ධි ද පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

50 හැවිරිදි රාහුල් ගාන්ධි පසුගිය සතියේ ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස තහවුරු විය. කෙසේ නමුත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව කොංග්‍රස් පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ වනවිට ඉන්දියාවේ රෝහල් සියල්ලම මේ වනවිට 'කොවිඩ් 19' ආසාදිත රෝගීන්ගෙන් පිරීගොස් ඇති බවත්, බොහෝ දෙනා ඔක්සිජන් නොමැතිව මිය යන බවත් එරට මාධ්‍ය වාර්තා  පවසයි. තවමත් දිනපතා ආසාදිතයන් ලක්ෂ 3 ඉක්මවා වාර්තා වෙයි.

තම තමන්ගේ මෝටර් රථ, දේපොල ආදිය විකුණා ඔක්සිජන් නොමැතිව මරණ මංචකයේ සිටින දිළිදු වැසියන්ට නොමිලේ ඔක්සිජන් ටැංකි ලබා දෙන පුද්ගලයන් ගැන ද මුම්බායි නුවරින් සහ දිල්ලි අගනුවරින් අසන්න ලැබේ. ඉන්දීය මාධ්‍ය මෙම පුද්ගලයන් නම් කර ඇත්තේ 'ඔක්සිජන් මිනිසුන්' යනුවෙනි. දිළිදු වැසියන් වෙනුවෙන්, එසේ පරිත්‍යාග සිදුවෙද්දී,ධනවත් ඉන්දියානුවෝ ඔවුන්ගේ පෞද්ගලික ජෙට් ගුවන් යානාවලින් විදේශවලට පලා ගොස් ඇතැයි ද වාර්තා වේ.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS