මෝදිගෙන් ඉන්දියානුවන්ට ඉල්ලීමක්



ඉන්දියාවෙන් අඛණ්ඩව තෙවැනි දිනටත් නව කොරෝනා වයිරස ආසාදිතයන් දෙලක්ෂය ඉක්මවා වාර්තා වීමත් සමඟ හින්දු උත්සව සංකේතවත් සමරන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සෙනසුරාදා (17) එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.

ඉන්දියාවෙන් සිකුරාදා දිනයේ දී පමණක් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 234,692කි. ඒ අනුව එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 14.5 ඉක්මවා ගියේ ය. ඉන්දියාවෙන් එම පැය 24ක කාලයේ දී නව කොරෝනා වයිරස ආසාදිත මරණ 1,341ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 175,649ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන්දියාවට වඩා වැඩියෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පමණි.

නව කොරෝනා වයිරස වසංගතය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට මේ වනවිට චෝදනා එල්ල වෙමින් තිබේ. රෝහල්වල ඇඳන් පිරී යද්දීත්, ඔක්සිජන් සිලින්ඩර් සහ එන්නත් මාත්‍රා හිඟ වෙද්දීත් මැතිවරණ රැලී පැවැත්වීමටත් ආගමික උත්සවවලට අවසර දීමත් සම්බන්ධයෙන් ඉන්දීය ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල වී තිබේ.

කුම්බ් මේලා උත්සවයට හින්දු බැතිමතුන් දස දහස් ගණනක් ගංඟ ඉවුරුවලට විශේෂයෙන්ම උතුරු ඉන්දියාවේ ගංඟා ගංඟාවේ ඉවුරුවලට එක් රැස්වූහ. මේ හේතුවෙන් තවත් දස දහස් ගණනකට නව කොරෝනා වයිරසය ආසාදනය වීමේ අවදානමක් ඇති වී තිබේ.

මේ තත්ත්වය හේතුවෙන් කුම්බ් මේලා ඇතුළු ආගමික උත්සව සංකේතාත්මකව සමරන්නැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එරට ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ඉන්දීය අගමැතිවරයාගේ ට්විටර් පණිවිඩයත් සමඟ ආගමික ස්ථානවලටත් ගංඟා ඉවුරුවලටත් විශාල වශයෙන් රැස් නොවන ලෙස ආගමික නායකයෝ හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කළහ.

රොයිටර්


RECOMMEND POSTS