මෙක්සිකෝ වැසියන් මිලියන 25 ක් ජපානයට



මෙක්සිකෝ වැසියන් මිලියන 25 ක් ජපානයට එවන්න තමන්ට පුළුවන් යැයි පසුගිය දා පැවැති ‘ජී7’ සමුළුවේදී, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ජපාන අගමැති ෂෙන්සෝ අබේට පවසා ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණය කළේය.

‘ජී7’ සමුළුව පැවැත්වූයේ පසුගිය 8 සහ 9 වැනිදා කැනඩාවේ කි්‍යුබෙක් පළාතේය. ට්‍රම්ප් විසින් යුරෝපා රටවලට, වානේ සහ ඇලුමිනියම් වෙනුවෙන් පැනැවූ නව බදු සම්බන්ධයෙන් පමණක් නොව යුරෝපා රටවලට ගැටළුවක් වුණු සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී වාද විවාද පැවැතිවිණි. ට්‍රම්ප් සමුළුව කඩිමුඩියේ අවසන් කළේ ද සෙසු ‘ජී7’ නායකයන් සමඟ බහින්බස් වෙමිනි.
ඇමෙරිකාවේ මෙක්සිකන් සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් පමණක් නොව, සෙසු රටවලින් ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ද ට්‍රම්ප් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරන අතර, එය කැනඩා අගමැති ජස්ටින් ටෘඩොගේ පමණක් නොව සෙසු යුරෝපා රටවල නායකයන්ගේ විරෝධයට හේතුවක් වී තිබේ.
ජී 7 සමුළුවේදී මේ ගැන වාද විවාද පැවැත්වෙද්දී, යුරෝපා නායකයන්ගේ අදහස අනුමත කරමින් නිහඬව සිටි ජපාන අගමැති ෂෙන්සෝ අබේ අමතමින් ට්‍රම්ප් මෙසේ පැවසා ඇත. ‘ෂෙන්සෝ ඔබට සංක්‍රමණික ගැටළු නැහැ. ඔබට ඒ ගැන අවබෝධයක් නැහැ. හැබැයි මට පුළුවන් මෙක්සිකෝ සංක්‍රමණිකයන් මිලියන 25 ක් ජපානයට එවන්න. මොකද කියන්නේ ? එහෙම වුණොත් ඔබට ඉක්මනින්ම ගෙදර යන්න වෙනවා අගමැති ධුරය දාලා’

(රොයිටර්)


RECOMMEND POSTS