මූදු කොල්ලකරුවන් පැහැරගත් නැව සොයා මෙහෙයුම් ඇරැඹේ



සෝමාලි මූදු කොල්ලකරුවන් ශ්‍රී ලාංකිය නාවිකයන් අට දෙනකු ද සමඟ පැහැරගත් ‘ඒරීස් 13’ තෙල් නෞකාව මුදා ගැනීමට සෝමාලි ආරක්ෂක අංශ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි රොයිටර් පුවත් සේවය  වාර්තා කර තිබේ.

ආරක්ෂක අංශ නෞකාව සොයා එය වට කළ අවස්ථාවේ කොල්ලකරුවන් සහ ආරක්ෂක අංශ අතර දරුණු අවි ගැටුම් හටගත්තේය. අවි ගැටුමින් සෝමාලි ආරක්ෂක අංශ සාමාජිකයකු මියගිය බවත් තවත් නිලධාරියකු තුවාල ලැබූ බව ද වාර්තා වේ. ප්‍රාණ ඇපයේ සිටින ශ්‍රී ලාංකීකයක් 8 දෙනා ද ඇතුළු නැවේ සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයන් නැවේ එක් කැබින් කාමරයක කොටු කර සිටින බව ද පැවැසෙයි.

සෝමාලි කොල්ලකරුවන් තෙල් නෞකාව පැහැර ගැනීමෙන් පසු එය සෝමාලියාවේ උතුරු දෙසින් පිහිටි පුන්ට්ලන්ඞ් වෙරළ තීරයට ඔබ්බෙන් මුහුදට රැගෙන ගොස් නැංගුරම් ලා තිබියදී සෝමාලි වෙරළාරක්ෂක නිලධාරීන්ට දකින්න ලැබී ඇත. නෞකාව වට කිරීමට මෙහෙයුම් ඇරැඹුවේ ඉන් පසුව යැයි රොයිටර් පුවත් සේවය පවසා තිබුණි.

තෙල් නෞකාව පැහැර ගැනීම සිදුවූයේ පසුගිය 13 වැනිදාය. අධිවේගී බෝට්ටුවලින් පැමිණි කොල්ලකරුවන් නැව පැහැර ගැනීමෙන් පසු එහි හසුකර ගැනීමේ පද්ධති අක්‍රිය කර දමා නැව රැගෙන යෑමට කටයුතු කළේය. පැහැර ගැනීමට ලක් වෙද්ද ඒරීස් 13 නෞකාව ජිබුටි සිට සෝමාලියාවේ මොගඩිෂු අගනුවර බලා යාත්‍රා කරමින් තිබුණු බව ද පැවැසිණි.

(රොයිටර්)

 


RECOMMEND POSTS