මුහුණු ආවරණ අනිවාර්යයි



නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පොදු ප්‍රවාහනයේදී සහ පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කිරීමට දකුණු කොරියාව පියවර ගෙන තිබේ. අදාළ නීති අඟහරුවාදා, එනම් ඊයේ (12) සිට ක්‍රියාත්මක කෙරුණි.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමට දකුණු කොරියාව තීරණය කර ඇත. කෙසේ නමුත් සීමා ලිහිල් කිරීමෙන් පසු වයිරසය ව්‍යාප්ත වීමේ වැළැක්වීමේ පියවරක් ලෙස මෙලෙස මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කිරීමට දකුණු කොරියානු බලධාරීන් තීරණය කර ඇත.

නව කොරෝනා පාලනය කළ රටක් ලෙස දකුණු කොරියාව බොහෝ පිරිසකගේ ප්‍රශංසාවට ලක්විය.

කෙසේ නමුත් වයිරසයේ නව රැල්ලක් ඇති වීම වැළැක්වීම සඳහා මෙම නව පියවර හඳුන්වා දී තිබේ. ඒ අනුව පොදු ප්‍රවාහනයේදී සහ පොදු ස්ථානවලදී මුඛ ආවරණ නොපලඳින පුද්ගලයන්ට දකුණු කොරියානු වොන් 100,000 (පවුම් 67ක් - ආසන්න වශයෙන් රුපියල් 16,000ක්) ක දඩයක් නියම වනු ඇත. එමෙන්ම වැරැදියට මුඛ ආවරණ පලඳින පිරිස් ද මෙම දඩවලට යටත් වේ.

මෙම නව නීතිවලට අනුගත වීම සඳහා දකුණු කොරියානුවන්ට දින 30ක සහන කාලයක් හිමිවන අතර විවිධ සෞඛ්‍ය තත්ත්වවල පසුවන පිරිස් සහ වයස අවුරුදු 14ට අඩු දරුවන් මුඛ ආවරණ පැලඳීම අවශ්‍ය නැතැයි ද දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි.

සිය ස්ථානවලට පැමිණෙන පිරිස් මුඛ ආවරණ පැලඳීමට අසමත් වුවහොත් වෛද්‍ය සහ සුව සේවා මධ්‍යස්ථානවල හිමිකරුවන්ට, ඒව පවත්වාගෙන යන අයට ද දඩ නියම වේ. එසේ මෙම නීති කඩ කරන පුද්ගලයන්, ව්‍යාපාරික ස්ථාන, වෛද්‍ය හා සුව සේවා මධ්‍යස්ථාන වොන් මිලියන 3ක් තරම් විශාල දඩයකට වුවද යටත් විය හැකි යැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි.

‘කොවිඩ්-19’ වයිරස ආසාදිත පොකුරු නිර්මාණය වුවහොත් විරෝධතා මෙන්ම ආගමික වැඩසටහන් සංවිධානය කරන පිරිස්වලට ද දඩ නියම වේ.

දකුණු කොරියාව සමාජ දුරස්ථභාවයට අදාළ නීති සහ රෙගුලාසි ලිහිල් කිරීමට පියවර ගෙන ඇති අතර එහෙත් අවදානම සලකා බලමින් මෙලෙස මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කර තිබේ.

ඉහළ අවදානමක් තිබෙන රාත්‍රී සමාජ ශාලා, කැරෝකි අවන්හල් යනාදිය විවෘතව තැබිය හැකි නමුත් අදාළ සෞඛ්‍යාරක්ෂිත පියවර ගත යුතු ය. ඒවාට පැමිණෙන පිරිස් සීමා කිරීම සහ මුඛ ආවරණ පැලඳීම යන නීති පිළිපැදිය යුතු වේ. පාපන්දු තරග සහ බේස්බෝල් තරග ද පැවැත්විය හැකි නමුත් ඒවාට සහභාගී කරවා ගත හැක්කේ සීමිත පිරිසකි. ඒ අනුව ඒවාට ගෙන්වා ගත හැක්කේ ක්‍රීඩාංගනවල තිබෙන අසුන් සංඛ්‍යාවෙන් සියයට 30ක් පමණක් පිරෙන පරිදි පමණි.

සඳුඳා දිනයේදී දකුණු කොරියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 97 දෙනකු හඳුනාගෙන ඇත. ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 24,703ක් වන අතර වයිරස ආසාදිත මරණ ගණන 433ක් යැයි ද දකුණු කොරියාවේ රෝග පාලන සහ නිවාරණ ආයතනය සඳහන් කරයි.

රොයිටර්


RECOMMEND POSTS