මුඩුක්කු වැසියන්ගෙන් අඩකට කොරෝනා



මුම්බායි නුවර මුඩුක්කුවල ජීවත් වන ජනතාවගෙන් අඩකට වැඩි පිරිසකට නව කොරෝනා වයිරසය ආසාදනය වී තිබී ඇතැයි නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත.

නගර බලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙම අධ්‍යයනය කර තිබෙන අතර එහි වාර්තාව ඊයේ (29) එළිදැක්විණි.

මේ ආකාරයේම මතභේදාත්මක වාර්තාවක් පසුගිය දිනෙක දිල්ලියෙන් ද එළිදැක්විණි. මෙම වාර්තා සමඟ ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මෙන්ම එරටින් වාර්තා වන මරණ ගණන සම්බන්ධයෙන් ද ගැටලු මතුකර ඇත.

“කොවිඞ්-19” හෙවත් නව කොරෝනා වයිරසයෙන් තෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අසල්වැසි ඉන්දියාවටය. ලොව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර දෙවැනියට වාර්තා වන්නේ බ්රගසීලයෙනි. ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 1.5 ඉක්මවයි.

‘කොවිඞ්-19’ ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ ප්‍රමාණවත් පරිදි නොකෙරුණු බවත් එබැවින් ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන දැනට වාර්තා වන ආසාදිතයන්ගේ ගණනට වඩා ඉතා ඉහළ බවත් මීට පෙර විශේෂඥයෝ අවස්ථා ගණනවාකදීම පෙන්වාදුන්හ.

මුම්බායි බලධාරීන් අහඹු ලෙස තෝරාගත් 6,936 දෙනකුගේ රුධිර සාම්පල පරීක්ෂා කර ඇති අතර මුඩුක්කුවල ජීවත්වෙන ජනතාවගෙන් සියයට 57කගේ සහ මුඩුක්කු නොවන ස්ථානවල ජීවත්වන පිරිසගෙන් සියයට 16කගේ සිරුරුවල වයිරස ප්‍රතිදේහ ඇති බවත් එයින් අනාවරණය වී තිබේ.

මුම්බායි නුවර ජීවත් වන පිරිසගෙන් සියයට 40කට අධික පිරිසක් ජීවත් වන්නේ මුඩුක්කු නිවාසවලය. මුම්බායි නුවරින් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 110,000 ඉක්මවයි. මුම්බායි නුවරින් මේ වනවිට වාර්තා වී ඇති වයිරස ආසාදිත මරණ ගණන 6,000 ඉක්මවයි.

මුම්බායි නුවර ජනගහනය මිලියන 20කට ආසන්න වේ. මුම්බායි නුවර විශාලතම මුඩුක්කු නිවාස ඇති ප්‍රදේශය ලෙස සැලකෙන්නේ දරාවි ප්‍රදේශයයි. එහි ජීවත්වන පිරිස මිලියනයක් යැයි ඇස්තමේන්තු කර ඇත.

මුඩුක්කු නිවාස ඇති ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා වුවද වාර්තා වන මරණ ගණන ඉතා අඩුය. වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට දැඩි පියවර ගත් නිසාත් ගන්නා ලද එම පියවර ඵලදායී නිසාත් එලෙස අඩුවෙන් වයිරස ආසාදිත මරණ වාර්තා වන බව මුම්බායි බලධාරීහු පවසති.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS