මිලියන 160 කට එන්නත් ලැබිලා



බිලියන 7.8 ක් වන ලෝක ජනගහනයෙන්, මිලියන 160 කට මේ වනවිට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලැබී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

 

එසේ එන්නත් ලැබුණු මිලියන 160 දෙනාගෙන් වැඩි පිරිස වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් සහ යුරෝපා රටවල් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ වනවිට ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන 117,446,521 ක් ලෙස ඉහළ ගොස් තිබේ. මරණ වාර්තා වන්නේ 2,605,302 ක් ලෙසය. වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 92,955,141 කි.

ආසියානු රටවල් බොහොමයකට එන්නත් ලැබී ඇත්තේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දීය මධ්‍යම රජය මැදිහත්වීමෙනි. ඉන්දීය අගමැති මෝදිගේ ‘වැක්සින් මෛත්‍රී’ වැඩසටහන හරහා ආසියානු රටවලට ප්‍රදානය කෙරුණේ ඉන්දියාවේ පූනේ නුවර සේරම් ඖෂධ නිෂ්පාද සමාගමේ නිපදවන ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නතය.

ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ‘යුනිසෙෆ්’ සංවිධානය ද හවුල් කර ගනිමින්, ආරම්භ කළ ‘කොවැක්ස්’ වැඩසටහන යටතේ ද තුන්වැනි ලෝකයේ දිළිඳු රටවල් ඉලක්ක කර ගනිමින් එන්නත් බෙදා දීම ආරම්භ කර තිබේ.

මේ වනවිට තම වැසියන්ට, වැඩිම එන්නත් ප්‍රමාණයක් ලබා දුන් රට ලෙස සැලකෙන්නේ ඇමෙරිකාවය. ධවල මන්දිරය පවසා ඇත්තේ ඇමෙරිකානුවන් මිලියන 82 කට එන්නත් ලබා දී අවසන් බවය. ඇමෙරිකාවේ වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්ගෙන් සියයට 55 කට වැඩි පිරිසක් එන්නත් මාත්‍රා දෙකම හෝ එක් මාත්‍රාක් හෝ ලබා ගෙන අවසන් යැයි ධවල මන්දිරයේ, ‘කොවිඩ් 19’ හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායමේ සාමාජිකයකු මෙන්ම, ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක ඇන්ඩි ස්ලැවිත් අවධාරණය කර ඇත.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS