මිනිසා අඟහරු යෑම මහ මෝඩ වැඩක්



මිනිසාගේ මීළඟ අභ්‍යවකාශ වික්‍රමය ලෙස සැළකෙන්නේ අඟහරු ගවේෂණයයි. ඇමෙරිකාවේ නාසා ආයතනය මිනිසුන් අඟහරු යැවීමට මේ වනවිටත් පිඹුරුපත් සකස් කරමින් සිටී. ​අඟහරු මෙහෙයුම ඇරැඹෙනු ඇත්තේ 2030 න් පසුව යැයි ද පැවැසෙයි.

අඟහරු ගවේෂණයට මිනිසුන් යැවිය යුතු බවත් නාසා ආයතනය ඒ වෙනුවෙන් කැපැවී, පෞද්ගලික අභ්‍යවකාශ සමාගම් සමඟ අත්වැල් බැඳගෙන එම වික්‍රමය සිදු කරනු ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

කෙසේ නමුත් මිනිසා අඟහරු යෑම නුවණට හුරු  නැති බවත්, එය මහ මෝඩ වැඩක් බවත් ඇමෙරිකන් ගගනගාමී බිල් ඇන්ඩර්ස් කියයි. ඇන්ඩර්ස් මේ බව කියා සිටියේ බී.බී.සී. ගුවන් විදුලිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

බිල් ඇන්ඩර්ස් යනු 70 දශකයේ, ඇමෙරිකාව සහ සෝවියට් රැසියාව සඳ ජය ගැනීමට තරග කරද්දී, සඳුගේ කක්ෂයට ගොස් යළි පෘථිවියට පැමිණි ගගනගාමීන්ගෙන් කෙනෙකි. ඇපලෝ 8 මෙහෙයුම යටතේ චන්ද්‍ර යානයේ නියමුවා ලෙස කටයුතු කළේ ඇන්ඩර්ස්ය.

‘සඳට ගියා වගේ නොවෙයි, අඟහරු යෑම වචනයෙන් කියන්න බැරි තරම් අසීරු මෙන්ම අභියෝගාත්මක මෙහෙයුමක්. එය මිනිසාට ඔරොත්තු නොදෙන මෙහෙයුමක්. අඟහරු යෑම ලොකු අවදානමක්’ යැයි මේ වනවිට 85 හැවිරිදි වියෙහි පසුවන ඇන්ඩර්ස් බී.බී.සී. ගුවන් විදුලි සේවය සමඟ වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

(බී.බී.සී.)


RECOMMEND POSTS