මැසෙඩෝනියා පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක්



මැසිඩෝනියා පාර්ලිමේන්තුවේ පෙරේදා (27) හටගත් ගුටි කෙළියකින් 10 දෙනෙක් තුවාල ලැබූහ.

ගුටි කෙළියට හටගත්තේ එරට ජාතිකවාදී ‘විම්රෝ ඩැප්නේ’ පක්ෂ නියෝජිතයන් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නියෝජිතයන් අතරේය.

ගුටිකෙළියට හේතු වූයේ මැසිඩෝනියා පාර්ලිමේන්තු කතා නායක ලෙස ඇල්බේනියානු සම්භවයක් සහිත තැනැත්තකු තේරී පත්වීමේ සිද්ධියයි. කතානායකයා ලෙස තේරී පත් වූයේ ටලාට් ෂෆෙරිය.

ටාලට් ෂෆෙරි කතා නායක ලෙස පත්වීම සඳහා ඡන්දය ලබා දී ඇත්තේ සමාජවාදී ඩිමොක්‍රටික් පක්ෂය ඇතුළු සෙසු පක්ෂය.
කතානායක ලෙස ටලාට් ෂෆෙරි පත් කර ගැනීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරා මැසඩෝනියාවේ ස්කොප්ජේ නුවර ගැටුම් හටගත්තේය. ඒ, ජාතිකවාදී පක්ෂයේ විරෝධතාකරුවන් කහලකාරීව හැසිරීමත් කැරැලි මර්දන පොලිසිය ඔවුන්ට එරෙහිවීමත් සමඟය.

හටගත් දරුණු ගැටුම්වලින් 77 දෙනෙක් තුවාල ලැබූහ. එම පිරිස අතරේ පොලිසියේ 22 දෙදෙනක් ද සිටිති.
පෙරේදා (27) දිනයේ පාර්ලිමේන්තුවේ ගුටි කෙළිය හටගත්තේ එම විරෝධතා උත්සන්න වීමෙනි. මැති ඇමැතිවරුන් අතරේ ගුටි කෙළිය සිදුවෙද්දී, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරියේ රැස්ව සිටි විරෝධතාකරුවෝ පිරිසක් ද පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජිතයන්ට පහර දෙන්න වූහ.

පාර්ලිමේන්තුවේ ගුටි කෙළිය ඇරැඹුණේ ප්‍රපෝපකාරී විරෝධතාකරුවන් පිරිසක් ආරක්ෂක නිලධාරීන්ට පහර දී ස්කොප්ජේ අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදීමෙන් පසුව යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. පොලිසියට පිරිස පාලනය කර ගැනීමට නොහැකි විය.

විපක්ෂ නායක සොරාන් සැක් ද ප්‍රතිවාදීන්ගේ පහර කෑමට ලක්විය. හිස තුවාල ලැබූ විපක්ෂ නායකවරයා, සිය ආධාරකරුවන්ගේත් පොලිසියේත් ආරක්ෂාව මැද රෝහල් ගත කෙරුණැයි වාර්තා විය. විරෝධතා සංවිධානය කළේ මැසඩෝනියාවේ හිටපු අගමැතිවරයකු වන නිකොලා ගෘවෙව්ස්කී යැයි චෝදනා එල්ල වී ඇත.

ගෘවෙව්ස්කී සහ ඔහුගේ ජාතිකවාදී ‘විම්රෝ ඩැප්නේ’ පක්ෂය දශක ගණනාවක් තිස්සේ මැසඩෝනියාවට නායකත්වය දුන්නේය. කෙසේ නමුත් පසුගිය වසරේ පැවැති මැතිවරණයෙන් ‘විම්රෝ ඩැප්නේ’ පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 51 ක් පමණි. පාර්ලිමේන්තුව ආසන 120 කින් සමන්විතය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ඇලේබේනියානු සම්භවයක් සහිත මන්ත්‍රීවරුන් එක්වී නව රජයක් පිහිඑටුවීමට උත්සාහ ගත්තේ ඒ අනුවය. එය ජාතිකවාදී ‘විම්රෝ ඩැප්නේ’ පක්ෂයේ දැඩි විරෝධයට හේතුවක් විය. ඔවුන් පෙන්වා දුන්නේ එය රටේ ස්වෛරීත්වයට ලොකු තර්ජනයක් කියාය. යළිත් මැතිවරණයක් පවත්වන්නැයි ‘විම්රෝ ඩැප්නේ’ පක්ෂ ක්‍රියාකාරීහු බල කර සිටිති.

ඒ අනුව ‘විම්රෝ ඩැප්නේ’ පක්ෂයට දෙවැනි ස්ථානයට පත් සමාජ ප්‍රජානත්ත්‍රවාදී පක්ෂය සමඟ සන්ධානගතවී ආණ්ඩුවක් පිහිටුවීය. මැසඩෝනියාවේ  දේශපාලන අර්බුදයක් නිර්මාණය වූයේ ‘විම්රෝ ඩැප්නේ’ පක්ෂ නියෝජිතයන් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මත ගැටුම් සහ ප්‍රතිපත්ති හේතුවෙනි.

(රොයිටර්/බී.බී.සී.)


RECOMMEND POSTS