මැඩ්රිඩ් අගුළු දමයි



නව කොරෝනා වයිරසය නැවත වරක් වේගයෙන් පැතිර අවදානම සලකා බලමින් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවරට දැඩි සීමා පැනවීමට එරට ආණ්ඩුව පියවර ගෙන තිබේ.

ඒ අනුව එම දැඩි සීමා ඉදිරි පැය 48 ඇතුළත ක්‍රියාත්මක වීමට නියමිත අතර මෙම සීමාවලට මැඩ්රිඩ් අගනුවර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල බලධාරීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චෙස්ගේ සමාජවාදී ආණ්ඩුව පසුගිය දින කිහිපයේදී කලාපීය සහ නගර බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ අතර දෙපාර්ශවය අතර දැඩි මතභේද ඇතිවිය. නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිරෙන ප්‍රදේශවලට දැඩි සීමා පැනවීම සඳහා ප්‍රාදේශීය සහ නගර බලධාරීන් සමඟ එකඟතාවක් ඇති කරගත් අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චේස් පවසා ඇත.

දැනට සීමා පැනවීමට පියවර ගෙන ඇත්තේ මැඩ්රිඩ් අගනුවරට පමණි. මැඩ්රිඩ් නුවරින් ලක්ෂයකගෙන් 780 දෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වීමේ අනුපාතයක් පෙන්නුම් කරන නමුත් ස්පාඤ්ඤයේ අනෙකුත් ප්‍රදේශවල එම අනුපාතය 100,000කට පුද්ගලයන් 300ක් බව පැවසේ. මැඩ්රිඩ් නුවර ප්‍රමුඛ ස්පාඤ්ඤයේ විවිධ නගර හා ප්‍රදේශවලින් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වීමේ අනුපාතය යුරෝපා සංගමයට අයත් රටකින් වාර්තා වන ඉහළම අගය බව ද පැවසේ.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS