මාලදිවයින දේශපාලන අර්බුදය ඔඩුදුවයි



මාලදිවයින ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ නියෝගය මත, එරට අගවිනිසුරු සහ තවත් විනිසුරුවරයකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

අගවිනිසුරු අබ්දුල්ලා සයීඞ් සහ විනිසුරු අල් හම්මීද් අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත්තේ, මාලදිවයින ජනාධිපති අබ්දුල්ලා යමීන් ප්‍රමුඛ ඔහුගේ රජය හදිසි නීතිය ප්‍රකාශයට පත් කර පැය කීපයක් ගත වෙද්දී යැයි ද පැවැසෙයි. හදිසි නීතිය පනවන ලද්දේ දින 15 ක කාලයක් සඳහාය.

අගවිනිසුරුවරයා සහ විනිසුරු අල් හම්මීද් අත්අඩංගුවට ගත්තේ ඇයිදැයි හෝ ඔවුන්ට එල්ල වන චෝදනා මොනවාදැයි හෝ මෙතෙක් වාර්තා වී නැත. අගවිනිසුරුවරයා මේ අයුරින් අත්අඩංගුවට ගැනීමත් සමඟ මාලදිවයින රාජ්‍යයේ හටගෙන ඇති දේශපාලන අර්බුදකාරී තත්ත්වය තවත් උත්සන්න වනු ඇතැයි බිය පළ කරේ.

මාලදිවයිනේ දේශාලන අර්බුදයක් නිර්මාණය වූයේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් සති අන්තයේ ලබා දුන් තීන්දු කිහිපයක් මුල් කරගනිමිනි.

එයින් එක් තීන්දුවක් වන්නේ, අත්අඩංගුවේ සිටින දේශපාලන සිරකරුවන් පිරිසක් වහා නිදහස් කරන ලෙසය. දෙවැනි තීන්දුව වන්නේ රටින් පිටුවහල් වී සිටින හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්ට වහා මාලිදිවයිනට පැමිණෙන්න අවසර දෙන ලෙසය. හිටපු ජනපති නෂීඞ්ට එරෙහිව ලබා දී ඇති තීන්දුව ව්‍යවස්ථාවට පටහැනි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කිරීම ජනපති  අබ්දුල්ලා යමීන් ප්‍රතික්ෂේප කළේය. රටේ දේශපාලන අර්බුදය නිර්මාණය වූයේ ඒ අනුවය.

මාලදිවයිනේ හටගත් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන්, ඇමෙරිකාව, එක්සත් රාජධානිය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කනස්සල්ල පළ කර ඇතැයි ද වර්තා වේ. මාලදිවයින විපක්ෂය චෝදනා කරන්නේ ජනපති යමීන්ගේ ක්‍රියාකලාපය ‘ඒකාධිපති’ ස්වරූපයක් ගෙන ඇති බවත්, ඔහුට එරෙහිව ජාත්‍යන්තරය විරුද්ධ විය යුතු බවත්ය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS