මහතීර් මොහොමඩ්ගේ සමුගැනීම



මැලේසියාවේ අග්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් මොහොමඩ් සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

දේශපාලන හිතවාදීන්, විරුද්ධවාදීන් හා එක්ව නව සන්ධානයක් පිහිටුවීමට උත්සාහ කිරීම මුල් කරගනිමින් හෙතෙම එලෙස අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර  ඉල්ලා අස්වීම දැනුම් දෙමින් මහතීර් මොහොමඩ් මැලේසියාවේ අල් සුල්තාන් අබ්දුල්ලා රජුට ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කළ බව ද ඔහු නියෝජනය කරන ‘බෙර්සාටු’ පක්ෂය නිවේදනය කළේය.

මහතීර් මොහොමඩ් අග්‍රාමාත්‍ය ධුරය අන්වර් ඊබ්‍රහීම්ට දෙන්නේ යැයි කරන ලද පොරොන්දුවක් කඩ කළ බවට චෝදනා එල්ල වී තිබෙන අතර මේ හේතුවෙන් පසුගිය දින කිහිපයේදී මැලේසියාව තුළ දේශපාලන අර්බුදයක් හටගත්තේය. මහතීර් මොහොමඩ් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ එම දේශපාලන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසය.

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව මැලේසියානු රජුට දැනුම් දුන් බව ද 94 හැවිරිදි ආචාර්ය මහතීර් මොහොමඩ් හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.

කලෙකදී ප්‍රතිවාදීන් වූ මහතීර් මොහොමඩ් සහ අන්වර් ඊබ්‍රහිම් එක්ව 2018 වසරේදී ‘පැක්ට් ඔෆ් හෝප්’ (පක්ටාන් හරප්පාන්) යනුවෙන් සන්ධානයක් ගොඩනගමින් මැතිවරණයට ඉදිරිපත් වෙමින් විශිෂ්ට ජයක් ලැබූහ.

තමන් වැඩි කාලයක් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳි නොසිටින බවත් අන්වර් ඊබ්‍රහීම්ට අග්‍රාමාත්‍ය ධුරය බාරදෙන බවත් මහතීර් මොහොමඩ් එම අවස්ථාවේදී පැවසීය.

2018 වසරේදී ඓතිහාසික ලබමින් මහතීර් මොහොමඩ් අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ ලොව වයස්ගතම නායකයා බවට පත්වෙමිනි. අන්වර් ඊබ්‍රහිම් මැතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මෛථුනය චෝදනාවලට වරදකරු වී සිරදඬුවම් ලබමින් සිටියේය. ඔහුට අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරග කිරීමට ද නොහැකි විය.

මේ තත්ත්වය නිසා මහතීර් මොහොමඩ්, අන්වර් ඊබ්‍රහිම් හා එක්ව එවකට බලයේ සිටි අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට එරෙහිව සන්ධානයක් ගොඩනගමින් මැතිවරණයට ඉදිරිපත් විය.

පක්ටාන් හරප්පාන් සන්ධානයේ සිටින අන්වර් ඊබ්‍රහිම්ගේ ප්‍රතිවාදීන් විපක්ෂය සමඟ එක්ව සන්ධානයක් පිහිටුවීමට යෑම මෙම දේශපාලන ආරවුල ඇතිවීමට හේතුවිය.

එම දේශපාලන සන්ධානයෙන් අන්වර් ඊබ්‍රහිම් ඉවත් කර ඇති බව ද වාර්තා විය.

මහාතීර් මොහොමඩ් 1981 සිට 2003 දක්වා මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය.

මහතීර් මොහොමඩ් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමත් සමඟ පාලක සන්ධානයේ අනාගතය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත වී තිබේ. මහතීර් මොහොමඩ් ඉල්ලා අස්වීමේ ලිපිය ද යොමු කර ඇති අතර ඉල්ලා අස්වීමට හේතුවක් දන්වා නැත.

මහතීර් මොහොමඩ් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට පෙර ඔහු නියෝජනය කරන ‘බෙර්සාටු’ පක්ෂය, ‘පක්ටාන් හරප්පාන්’ පාලක සන්ධානයෙන් ඉවත් විය. එමෙන්ම අන්වර් ඊබ්‍රහිම්ගේ පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 11 දෙනෙක් ද එම පක්ෂයෙන් මෙන්ම පාලක සන්ධානයෙන් ද ඉවත්වූහ.

මහතීර් මොහොමඩ් නව සන්ධානයක් ගොඩනැගීමට සූදානම් වන බවට පුවත් වාර්තා වූ අතර කෙසේ නමුත් ඒවායේ කිසිදු සත්‍යතාවක් නැතැයි අන්වාර් පැවැසීය.

නව සන්ධානයක් ගොඩනැගීමට සිය පක්ෂයේ සාමාජිකයන් ගත් උත්සහායට සම්බන්ධ නොවූ බව මහතීර් මොහොමඩ් තමන්ට පැවැසූවේ යැයි ද අන්වර් පැවැසීය. එමෙන්ම පසුගිය රෙජීමය හා සම්බන්ධ කිසිවකු සමඟවත් එක්ව කටයුතු නොකරන බව මහතීර් මොහොමඩ් තමන්ට සහතික වූයේ යැයි ද අන්වර් කීවේය.

මහතීර් මොහොමඩ් සහ අන්වර් ඊබ්‍රහිම් සාමාජිකත්වය දැරූ ‘පක්ටාන් හරප්පාන්’ සන්ධානයේ කොටස් විපක්ෂය සමඟ ඇති කරගන්නට යන නව සන්ධානයට ‘යුනයිටඩ් මැලේස් නැෂනල් සංවිධානය (යූ.එස්.එන්.ඕ)’ පක්ෂය ද ඇතුළත් යැයි වාර්තා විය. යූ.එස්.එන්.ඕ යනු බලයෙන් ඉවත් කෙරුණු මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ පක්ෂයයි.

2018 වසරේ මැලේසියානු මහ මැතිවරණය පැවැත්වෙද්දී, බලයේ සිටි නජීබ් රසාක් සහ ඔහුගේ සන්ධාන රජය කෙරෙහි ජනතා අප්‍රසාදය පළ වී තිබුණි. විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී, ‘පක්ටාන් හරප්පාන්’ සන්ධානය හරහා මැතිවරණයට ඉදිරිපත් විය.

‘පක්ටාන් හරප්පාන්’ සන්ධානය පිහිටුවූයේ ‘බෙර්සාටූ’ පක්ෂය සහ ‘පීකේආර්’ හෙවත්  ‘ජනතාව වෙනුවෙන් යුක්තිය’ පක්ෂය සන්ධානගත වෙමිනි. ‘පීකේආර්’ පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නේ දශක ගණනක් තිස්සේ ආචාර්ය මහතීර් මොහොම්ඩ්ගේ දේශපාලනික ප්‍රතිවාදියා වූ 72 හැවිරිදි අන්වාර් ඊබ්‍රහීම් ය.

ක්වාලාලම්පූර්හිදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS