මහ මැතිවරණය කල් දමන්නේ නැහැ



ලන්ඩන් නුවරට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාර ලබන බ්‍රහස්පතින්දා (8) පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට බාධාවක් නොවන බව අගමැතිනී තෙරේසා මේ පමණක් නොව, ලන්ඩන් පුරපති සීදීක් ඛාන් ද පවසා ඇත.

මෙම ත්‍රස්ත ප්‍රහාර එල්ල වූයේ ලන්ඩන් නුවරට විශේෂ ආරක්ෂාවක් යොදා ඇති අවස්ථාවකදීය. ත්‍රස්ත ක්‍රියාවලට බියෙන් මහ මැතිවරණය කල් නොදමන බව අගමැතිනී මේ සහ ලන්ඩන් පුරපතිවරයා අවධාරණය කර ඇත.

ලන්ඩන් නුවරට එල්ල වූයේ ත්‍රස්ත ප්‍රහාර දෙකකි. එක් ත්‍රස්තයකු වෑන් රියකින් පැමිණ පදිකයන් යට කළේය. ඒ, ලන්ඩන් පාලම අසලදීය. අනෙක් ප්‍රහාරයට පස් දෙනෙක් පැමිණියහ. ඔවුහු පස් දෙනා සිවිල් වැසියන්ට පිහිවලින් ඇන පහර දුන්හ.

ප්‍රහාරවලින් සිවිල් වැසියෝ 6 ක් ජීවිතක්ෂයට පත්වූහ. 48 ක් තුවාල ලැබූහ. පිහි ඇනුම් සිදු කළ ඉස්ලාම් සම්භවයක් සහිත ත්‍රස්තවාදී තරුණයෝ තිදෙනෙක් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූහ. පලා ගිය ත්‍රස්තයන් සොයා තවමත් මෙහෙයුම් සිදුවෙයි. මේ වනවිටත් සැකපිට 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක අංශ පවසා තිබේ.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු සංවිධානයක් විසින් බාර ගනු ලැබ නැති නමුත් එය අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරයක් යැයි සැක කෙරේ.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණ සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ලෝක නායකයෝ රැසක් ට්විටර් පණිවුඩ නිකුත් කරමින් ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරය හෙළා දැක තිබේ.

අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන මෙවැනි පහරදීම් අනුමත කළ නොහැකි බවත්, මෙවැනි ත්‍රස්ත ප්‍රහාර සිදු කරන්නන්ට කිසිදු සමාවක් ලබා දිය යුතු නැති බවත් බටහිර රටවල නායකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)

 


RECOMMEND POSTS