මට වස දුන්නේ පුටින්



තමන්ට වසදීමේ සිදුවීම පිටුපස සිටින්නේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යැයි තමන් විශ්වාස කරන බව ජර්මනියේ ප්‍රතිකාර ගබමින් සිටින රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි චෝදනා කරයි.

රුසියන් විපක්ෂ නායකයා මෙසේ චෝදනා කළේ ජර්මනියේ ‘දෙර් සෙයිග්නල්’ පුවත් සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ‘මට විහ්වාසයි, මේ අපරාධය පසුපස ජනාධිපති පුටින් සිටිනවා. මෙවැනි දෙයක් කළ හැක්කේ ඔහුගේ අනුදැනුම යටතේ පමණයි’ යැයි නෙවල්නි පවසා තිබේ. තමන්ට වස දුන්නේ පුටින් යැයි නෙවල්නි චෝදනා කළ පළමු අවස්ථාව මෙයයි. නෙවල්නි දූෂණ විරෝධී ක්‍රියාකාරියෙකි. එහෙයින්, ඔහු ජනාධිපති පුටින්ගේ උදහසට ලක් වී සිටින අයකු බව ද පැවැසෙයි.

44 හැවිරිදි නෙවල්නි, පසුගිය අගෝස්තුවේ සයිබීරියාවේ සිට රුසියාව බලා ගුවන් ගමනකට එක් වී සිටිද්දී සිහිසුන් විය. පළමුවෙන් සර්බියානු රෝහලකයටත් පසුව, නෙවල්නිගේ බිරිඳ මැදිහත් වී, ජර්මනියේ සහාය ඇතිව එරට රෝහලකටත් නෙවල්නි රැගෙන යන ලදී. සයිබීරියාවේ සිට මොස්කව් බලා ගමන් කරද්දී ගුවන් යානයේ දී වතුර බෝතලයක් හරහා නෙවලින්ට උග්‍ර විෂක් ශරීරගත කෙරුණු බව එහිදී තහවුරු විය.

සිහිසුන්ව කෝමා තත්ත්වයක සිටි නෙවල්නිට ජර්මන් වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබාදුන් අතර, මේ වනවිට නෙවල්නි සිහිය ලබා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ජර්මන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව, තමන් යළි රුසියාවට පැමිණීමට සූදානමින් සිටින බව නෙවල්නි පවසා ඇත.

බර්ලීනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS