මගී පාරුවක් ගිලී 9 ක් මරුට



ලතින් ඇමෙරිකාවට අයත් කොලොම්බියාවේ වයඹ දෙසින් පිහිටි වැවක මගීන් රැගෙන යමින් තිබුණු බෝට්ටුවක් හිටිහැටියේ ගිලී යෑමෙන් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

දියට වැටුණු 133 දෙනෙකු කඩිනමින් බේරා ගැනීමට හැකිවිය. තවත් 31 දෙනෙක් අතුරුදන් වූහ. ඔවුන් මියයන්න ඇතැයි සැක කෙරේ. එහෙයින් මරණ සංඛයාව තවත් ඉහළ යා හැකි බව කොලොම්බියානු රජය කියයි. බෝට්ටුව ගිලී යද්දී එහි 170 ක පිරිසක් සිට ඇතැයි ද පැවැසෙයි.

බේරාගත් පිරිස අතර කාන්තාවන් සහ කුඩා දරුවන් සිටින බව පැවැසෙයි. බෝට්ටුව හිටිහැටියේ ගිලී යන අයුරු සහ එහි සිටි පිරිස් කලබලයට පත් වී, දිවි බේරා ගැනීමට උත්සාහ ගන්නා අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පවා කොලොම්බියා මාධ්‍ය මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර අවසන්ය.

(බී.බී.සී.)


RECOMMEND POSTS