බිරිඳගේ අවමංගල්‍යයට යන්න අවසර



මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, සිර දඬුවම් විඳින පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් ට, සිය බිරිඳ කල්සූම්ගේ අවමංගල කටයුතු සඳහා සහභාගී වීමට තාවකාලික සමාවක් හිමි වී ඇත.

නවාස් ෂරීෆ් පමණක් නොව, දියණිය මාර්යාම් ද මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වී සිර දඬුවම් විඳින්නීය. ඇයට ද මවගේ අවමංගල කටයුතු වෙනුවෙන් තාවකාලික සමාවක් ලබා දීමට තීරණය කළේ යැයි පාකිස්තාන ජනමාධ්‍ය ඇමැති ෆාබාද් චෞද්‍රි මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

‘නවාස් ෂරීෆ් සහ දියණියගෙන් අපට ඉල්ලීමක් ලැබී තිබුණා. එම ඉල්ලීමට අප ගරු කරමින්, අවමංගල කටයුතු සඳහා සහභාගී වෙන්න අපි ඔවුන්ට තාවකාලික සමාවක් ලබා දෙනවා.’ යැයි ජනමාධ්‍ය ඇමැති ෆාබාද් චෞද්‍රි මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පැහැදිලි කළේය.

68 හැවිරිදි කල්සූම් නවාස් ෂරීෆ් පිළිකා රෝගියකු බව හඳුනා ගැනුණේ පසුගිය වසරේ අගෝස්තුවේය. එම වසරේ ජූනි 14 වැනිදා ඇය හෘදයාබාධයකට ද ගොදුරු වූවාය.

2017 දී, නවාස් ෂරීෆ් මූල්‍ය වංචා චෝදනා එල්ල වුණු අවස්ථාවේදී, පැවැත්වුණු අතුරු මැතිවරණයේදී ඔහු වෙනුවට ඔහුගේ ආසනය වෙනුවෙන් තරග කළේ ද බිරිඳ කල්සූම්ය. එහිදී කල්සූම්ට ජයග‍්‍රහණය කිරීමට පවා හැකිවිය. පිළිකා ප‍්‍රතිකාර සඳහා ලන්ඩනයට යෑමට සූදානම් වූ බැවින් ඇය දිවුරුම් නොදුන්නාය.

කල්සූම් ප‍්‍රතිකාර ලබා ගත්තේ ලන්ඩන් නුවරදීය. ඇයගේ පිළිකා තත්ත්වය සුව කළ නොහැකි යැයි බි‍්‍රතාන්‍ය වෛද්‍යවරුන් මීට මාස කිහිපයකට පෙර පවසා තිබුණි.

කල්සූම් සහ නවාස් ෂරීෆ් විවාහ වූයේ 1971 වසරේදීය. නවාස් ෂරීෆ් අවස්ථා තුනකදී පාකිස්තාන අගමැති ධුරයට පත් විය. ඒ, 1990 වසරේ සිට 1993 දක්වාත්, 1997 වසරේ සිට 1999 දක්වාත්, 2013 වසරේ සිට 2017 වසර දක්වාත්ය.
මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් අගමැති නවාස් ෂරීෆ්, දියණිය මාර්යාම් වරදකරු වී සිරදඬුවම් නියම කෙරෙද්දී, ඔවුන් දෙදෙනා සිටියේ ලන්ඩනයේදීය. ඒ, කල්සූම් ප‍්‍රතිකාර සඳහා ලන්ඩනයට ගොස් සිටි නිසාය. ලන්ඩන් නුවර නවාස් ෂරීෆ්ට නිවසක් ඇත.

අධිකරණ තීන්දුවට හිස නමා නවාස් ෂරීෆ් සහ දියණිය යළි ඉස්ලාමාබාද් බලා පැමිණි අතර, ඔවුන් අත්අඩංගුවට ගැණින.  පිළිකා තත්ත්වය උත්සන්න වීමෙන් කල්සූම් මියයන අවස්ථාවේදී පවා නවාස් ෂරීෆ් සහ දියණිය සිටියේ බන්ධනාගාරගතවය. කල්සූම්ගේ අභාවය හේතුවෙන් වත්මන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සිය කනගාටුව පළ කර ඇති බව ද වාර්තා වේ.

(එන්.ඞී.ටීවී.)


RECOMMEND POSTS