බාලි ගිනි කන්ද පුපුරයි



ඉන්දුනීසියාවට අයත් බාලි දූපතේ ‘අගුන්ග්’ගිනි කන්ද සක්‍රීය වී, පුපුරා යෑමට පටන් ගැනීමත් සමඟ ගිනි කන්ද පාමුල සහ ඒ අවට පදිංචි 40,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු කටයුතු කළහ.

යමහල් විද්‍යාඥයන් අනතුරු ඇඟවූයේ ‘අගුන්ග්’ ගිනි කන්දෙන් ප්‍රබල පිපිරීම් අපේක්ෂා කළ හැකි බවය. ‘අගුන්ග්’ ගිනි කන්ද ඉන්දුනිසියාවේ සෙසු දකින්න ලැබෙන සෙසු ගිනි කඳුවලට වඩා ප්‍රබල බවත් එය පුපුරා යෑමෙන් මහා විනාශයක් සිදුවිය හැකි බවත් යමහල් විද්‍යාඥයෝ බිය පළ කරති.

ගිනි කන්ද අවට කිලෝ මීටර් 8 ත් 10 ත් අතර ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස නම් කර ඇති අතර, ආරක්ෂක ස්ථාන වෙත යොමු කර ඇත්තේ මෙම කලාපයේ ගම්මාන සහ නගරවල වැසියන්ය.

‘අගුන්ග්’ ගිනි කන්ද එසේත් නැතිනම් යමහල පිහිටා ඇත්තේ බාලි දූපතේ නැගෙනහිර දෙසිනි. එහි උස අඩි 9,800 කි. මෙම ගිනි කන්ද මීට පෙර සක්‍රීය වී පුපුරා ගියේ 1963 වසරේදීය. ඒ, මීට අවුරුදු 54 කට පෙරය. එම අවස්ථාවේදී ද මහා පිපිරීම් කිහිපයක්ම සිදුවිය. විස දුම් වලා සහ ලාවා හේතුවෙන් දහසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.

ගිනි කන්දෙන් නිකුත් වන විස දුමාරය මේ වනවිට කිලෝ මීටර් සිය ගණනක් පුරා පැතිර පවතී. දුමාරය හේතුවෙන් ගුවන් ගමන් 445 ක් අවලංගු කිරීමට ඉන්දුනීසියානු ගුවන් ගමන් පාලන අධිකාරිය පියවර ගත්තේය. ඒ අනුව, 59,000 කට වැඩි ගුවන් මගීන් පිරිසක් ගුවන් තොටුපොළවල සිරවූහ. බාලි ගුවන් තොටුපොළ වසා දැමුණේ ඉකුත් සති අන්තයේය. ජකර්තා ගුවන්තොටුපොළ ද වසා දමා ඇති බව වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS