බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි



ලබන ජූනි මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ඉඩ සලසමින්, බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය.

ඒ අනුව, බ්‍රිතාන්‍ය අගමැතිනිය මීට පෙර නිවේදනය කර තිබූ අයුරින් ජූනි 8 වැනිදා බ්‍රිතාන්‍ය මහ මැතිවරණය පැවැත්වෙනු ඇත. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ද අනුමැතිය හිමිවිය යුතුව ඇත.

බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කළේ දෙවැනි එලිසබත් මහ රැජින ඒ සඳහා සිය අනුමැතිය ලබා දී ඇති බවය.
රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමේ ප්‍රධාන අරමුණින් මැතිවරණය පැවැත්වෙන බව අගමැතිනී තෙරේසා මේ පවසා තිබේ.

මහා බ්‍රිතාන්‍යය මේ වනවිට යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය හෙවත් ‘බ්‍රික්සිට්’ ආරම්භ කර තිබේ.
‘බ්‍රික්සිට්’ ක්‍රියාවලියට මුහුණ දීමට නම් මහා බි්‍රතාන්‍යයට ශක්තිමත් රජයක් සහ ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය බව අගමැතිනී තෙරේසා මේ ගේ අදහසය.

තෙරේසා මේ මහා බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට පත්වූයේ ජනතා ඡන්දයෙන් නොව, ඇගේ පාලක කොන්සවර්ටිව් පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමකිනි.

ජූනි 8 පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හරහා අගමැතිනී තෙරේසා මේ උත්සාහ ගන්නේ ‘බ්‍රික්සිට්’ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය ජන බලය දිනා ගැනීමටය. දිගටම අගමැති ධුරයේ රැඳී සිටීමට තමන්ට හැකියාව ලැබෙනු ඇතැයි තෙරේසා මේ අප්ක්ෂා කරයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS