බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල ප්‍රහාරයෙන් 5 ක් මරුට: 40 ක් රෝහලේ



මෝටර් රථයකින් පැමිණි අයකු ඊයේ (22) සවස 3 ට පමණ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල පදික වේදිකාවට සිට රථය කඩා වැදීමට සැලැස්වීමෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර 40 දෙනෙක් තුවාල ලැබූහ.

පදිකයන් යට කළ පුද්ගලයා ඉන්පසු හයිහුන්ඩායි වර්ගයේ මෝටර් රථයෙන් පිටතට බැස ඇත්තේ පිහියක් ද අතැතිවය. ඔහු පොලිස් නිලධාරියකුට ද පිහියෙන් ඇන ඇත.

පොලිස් නිලධාරියා බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත් වූ බව ද වාර්තා විය. 48 හැවිරිදි කීත් පාමර් නමැති එම පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්වූයේ ප්‍රහාරකයා මෙල්ල කිරීමට යෑමේදීය. පොලිස් නිලධාරී කීත් පාමර් වීරයකු යැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් නම් කරනු ලැබ තිබේ.

සෙසු පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ද ජීවිතක්ෂයට පත්වූයේය.එය ත්‍රස්ත ප්‍රහාරයක් බව ලන්ඩන් පොලිසිය පවසා ඇත. කෙසේ නමුත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් බාර ගනු ලැබ නොමැත.

ආසියානුවකු යැයි සැක කෙරෙන එම ප්‍රහාරකයා ගැන මේ වනවිට පරීක්ෂණ ආරම්භ වී ඇතැයි ද පැවැසෙයි.
හටගත් කලබලයත් සමඟ පාර්ලිමේන්තුවට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද සැපැයිණි. පොලිසිය පවසන්නේ ප්‍රහාරකයා පාර්ලිමේන්තුවට කඩා වැදීමට තැත් කළ බවය.

මෝටර් රථයේ ගැටී තුවාල ලැබූ පිරිස අතර ප්‍රංශ ජාතික සිසුවකු සහ කොරියානු විශ්ව විද්‍යාල සිසුවකු සිටින බව බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කර තිබේ.

මෙවැනි ‘ත්‍රස්ත’ ක්‍රියාවලින් බ්‍රිතාන්‍ය රජය යටපත් කළ නොහැකි බව අගමැතිනී තෙරේසා මේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියාය.

(රොයිටර්)

 


RECOMMEND POSTS