බ්‍රසීල ජනපති තවමත් මැලේරියා පෙත්ත බොනවා



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිතයකු යැයි හඳුනා ගත් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ තවමත් මැලේරියා නාශක ‘හයිඩ්‍රොක්සික්ලෝරෝන්වීන්’ ඔසුව භාවිතයට ගන්නා බව බ්‍රසීල සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.

ජනාධිපති බොල්සරානෝ, ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් අනුගමනය කරමින්, ඔහුගේ අඩිපාරේ යන අයෙකි. කොරෝනාවලින් ගැලවෙන්න ‘හයිඩ්‍රොක්සික්ලෝරෝන්වීන්’ සුදුසු යැයි ලොවට පෙන්වා දුන්නේ ට්‍රම්ප් ය.

ට්‍රම්ප් දිගින් දිගටම පවසන්නේ ඔහු කොරෝනා ආසාදනය වීමෙන් වැළැකීමට දිනකට ‘හයිඩ්‍රොක්සික්ලෝරෝන්වීන්’ පෙත්තක් භාවිතයට ගන්නා බවය. මැලේරියා නාශකයක් ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කරන ‘හයිඩ්‍රොක්සික්ලෝරෝන්වීන්’ ඔසුව අතුරු ආබාධ පිරි එකක් බැවින් එය භාවිතයෙන් වළකින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවා උපදෙස් දී තිබේ.

65 හැවිරිදි අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජාර් බොල්සරානෝ වයිරස ආසාදිතයකු බවට පත් වූයේ පසුගිය 6 වැනිදාය. බොල්සරානෝ මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තමන් ‘හයිඩ්‍රොක්සික්ලෝරෝන්වීන්’ පෙත්තක් භාවිතයට ගන්නා බැවින් තමන්ගේ රෝගී තත්ත්වය මේ වනවිට යහපත් වෙමින් පවතින බවය. බොල්සරානෝ ‘හයිඩ්‍රොක්සික්ලෝරෝන්වීන්’ භාවිතයට ගන්නේ ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයාගේ උපදෙස් අනුවය.

ලොව දෙවැනියට වැඩිම ‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයන් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. බ්‍රසීලයේ වයිරස ආසාදිතයන් වැඩි වී ඇත්තේ ජනාධිපති බොල්සරානෝ සෞඛ්‍ය උපදෙස් නොකතා, වයිරසය ගැන තැනීමක් නොකළ බැවින් යැයි චෝදනා එල්ල වී ඇත.

කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූ අවස්ථාවේදී, ජනාධිපති බොල්සරානෝ මෙසේ පැවැසුවේය. ‘කෙරෝනා ආසාදතයකු වීම ගැන මා පුදුම වෙන්නේ නැහැ. කොරෝනා වයිරසය හරියට වැස්ස වගේ. කුඬේ ඉහළන් ගියත් වැස්සට ටිකක් හරි තෙමෙනවා. බේරෙන්න බැහැ.’

ඊයේ (9) වනවිට බ්‍රසීලයෙන් වාර්තා වුණු ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 1,760,000 ඉක්මා තිබුණි. මරණ වාර්තා වූටේ 69,254 ක් ලෙසිණි. ලොව පුරා සමස්ත ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන වාර්තා වූයේ 12,393,488 ක් ලෙසය. පොව පුරා වාර්තා වූ සමස්ත මරණ ගණන 5,57,491 කි.

සාඕ පාවුලෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS