බලයෙන් නෙරපූ දකුණු කොරියා ජනපතිනිය අත්අඩංගුවට



බලය අනිසි ලෙස භාවිත කරමින්, මුල්‍ය අක්‍රමිකතා සිදුකළැයි චෝදනා එල්ලවී, බලයෙන් නෙරපා දැමුණු දකුණු කොරියානු ජනාධිපතිනිය පාක් ග්වෙන් හේ අත්අඩංගුවට ගැනිණි.

බලය අනිසි ලෙස භාවිතය පමණක් නොව, රාජ්‍ය රහස් හෙළි කිරීම ආදී චෝදනා ද හිටපු ජනපතිනියට එරෙහිව එල්ල වී ඇත. ජනපතිනිය අත්අඩංගුවට ගැනුණේ අධිකරණ නියෝගයකට අනුවය.

එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අදාල සාක්ෂි විනාශ වීමක් සිදුවිය හැකි යැයි පෙන්වා දෙමින්, එසේ වීම වැළැක්වීමට පාක් ග්වෙන් හේ අත්අඩංගුවට ගත යුතු යැයි අධිකරණය නියෝග කළේය.

අධිකරණයේ උපදෙස් මත අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිනිය රැඳවුම් මධ්‍යස්ථානයකට ගෙන ගිය බවත් පසුව ඇය සිරගත කළ බවත් දකුණු කොරියානු පුවත් සේවා වාර්තා කළේය.

දකුණු කොරියාවේ පළමු කාන්තා ප්‍රජාතන්ත්‍රවාදී ජනපති පාක් ග්වෙන් හේ ය. ඇයට පසුගිය 10 වැනිදා ජනපති ධුරය අහිමි වූයේ එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකාරිය වීමත් සමඟය. අධිකරණ තීන්දුවකින් ජනපති ධුරයෙන් ඉවත් කෙරුණු පළමු දකුණු කොරියානු ජනාධිපති වන්නේ ද පාක් ග්වෙන් හේය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS