බයිඩන්ගේ කොරෝනා උපදේශක මණ්ඩලය



ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා 13 දෙනකුගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පත් කර ඇත.

ඇමෙරිකාවේ නව කොරෝනා වයිරසය මේ වනවිට මාරාන්තික අදියරකට පැමිණ ඇතැයි එරට සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වාදෙති.

බයිඩන්-හැරිස් පරිපාලනයට නව කොරෝනා වයිරසය පාලනය කිරීමට සහාය වීම සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත මෙම උපදේශක මණ්ඩලය විශේෂ කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි පැවසේ.

“අපොහොසත් වීම විකල්පයක් නොවේ” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය මයිකල් ඔස්ටර්හෝම් ‘ද ගාඩියන්’ පුවත් වෙබ් අඩවියට පැවැසීය. ආචාර්ය මයිකල් ඔස්ටර්හෝම් ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා විශ්වවිද්‍යාලයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥයකු ලෙස කටයුතු කරන අතර ඔහු ජෝ බයිඩන්ගේ නව කොරෝනා වයිරස මර්දන උපදේශක මණ්ඩලයට ද පත් කර ඇත.

“වයිරසයෙන් අපේ සමාජයට වන බලපෑම අඩු කිරීම සඳහා අපට කළ හැකි හැම දෙයක්ම අපි කළ යුතු” යැයි ද ඔහු කීය.

විශේෂයෙන්ගෙන් සමන්විත ජෝ බයිඩන්ගේ මෙම උපදේශක මණ්ඩලයට ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශල්‍ය වෛද්‍ය ජනරාල්වරයකු වන වෛද්‍ය විවේක් මූර්ති සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ අධිකාරියේ හිටපු කොමසාරිස්වරයකු වන වෛද්‍ය ඩේවිඩ් කෙස්ලර් යන දෙදෙනා ද තෝරා පත් කර ඇත.

ඊට අමතරව වයිරසවේදීන්, ජෛව ආරක්ෂාව පිළිබඳ විශේෂයෙන් සහ ආන්තික ජන කොටස්වල සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂඥයන් ද මෙම උපදේශක මණ්ඩලයට පත් කර ඇත.

ඒ.එෆ්.පී


RECOMMEND POSTS