බංග්ලාදේශ අගමැතිනිය ජගත් මහ සමුළුව අමතයි



එක්සත් ජාතීන්ගේ 72 වැනි මහ සමුළුවට සහභාගී වන බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා එම සමුළුව ඇමැතූ අවස්ථාවේදී කියා සිටියේ මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් සුළු ජාතිකයන් වෙනුවෙන් මියන්මාරය තුළ ආරක්ෂක කලාප පිහිටුවිය යුතු බවය.

මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් වෙනුවෙන් එම ‘ආරක්ෂක කලාප’ පිහිටුවීම කළ යුත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද මැදිහත්වීම සහ සංවිධානය යටතේ යැයි ද බංග්ලාදේශ අගමැතිනිය වැඩි දුරටත් කියා සිටියාය.

මියන්මාරයේ රකීන් නමැති පළාතේ වාසය කරන මෙම රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට අවශ්‍ය වී ඇත්තේ රකීන් පළාත වෙනුවෙන් වෙනම පාලනයකි. මියන්මාර රජය ඊට එක හෙළා විරෝධය පළ කරයි.

ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ පණ බේරා ගනිමින් පලා යන රොහින්ග්‍යා වැසියන් අසල්වැසි බංග්ලාදේශයට පැමිණ සිටින අතර, එම වැසියන්ට පහසුකම් සැපැයීම මුස්ලිම් බහුතරයක් වාසය කරන බංග්ලාදේශයට ගැටලුවක් වී ඇත. එම පිරිස ආපසු යෑවීමට බංග්ලාදේශය උත්සාහ කරන නමුත් ජාත්‍යන්තරයෙන් එල්ල වන පීඩනය හමුවේ එය අසාර්ථක වී ඇතැයි ද වාර්තා වේ.

රොහින්ග්‍යා වැසියන් සම්බන්ධයෙන් හටගත් අර්බුදය හේතුවෙන් මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කීට ජාත්‍යන්තරයෙන් දොස් අහන්න පවා සිදුවී ඇත. එම අර්බුදය හේතුවෙන් ඇය මෙවර එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට පවා සහභාගී වූයේ නැත.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS