පුටින් මට සුබ පැතුවේ නෑ



රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තමන්ට සුබ පැතූ බවට පළ වන පුවත් අසත්‍යය යැයි මහා බ්‍රිතාන්‍යයේ සැලිස්බරි නුවර පදිංචිව සිටිද්දී, විස ප්‍රහාරයකට ලක්වුණු රුසියාවේ හිටපු කේ.ජී.බී. ඔත්තු සේවා නිලධාරී සර්ගේ ස්ක්‍රිපාල්ගේ දියණිය යුලියා පවසා ඇත.

හිටපු ඔත්තු නිලධාරී ස්ක්‍රිපාල් සහ දියණිය යුලියා මේ වනවිට සුවය ලබා රෝහලෙන් පිටවී ගොස් ඇත. ඔවුන්ට නව අනන්‍යතා ලබා දීමට බ්‍රිතාන්‍ය රජය සහ ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

විස ප්‍රහාරයකට ලක්වුණු සර්ගේ ස්ක්‍රිපාල් සහ දියණිය යුලියා සති කිහිපයක් සිහිසුන්ව සිටියහ. අනතුරුදායක තත්ත්වයෙන් මිදී පළමුවෙන්ම සිහිය ලැබුවේ 33 හැවිරිදි දියණිය යුලියාය. 66 හැවිරිදි සර්ගේ ස්ක්‍රිපාල්ගේ තත්ත්වය ද යහපත් බව දැනගන්න ලැබුණේ පසුගිය 7 වැනිදාය.

මොවුන් දෙදෙනා ඝතනය කිරීමට නොවිචොක් නමැති විස වායුව යොදා ගත් බව පරීක්ෂණවලින් හෙළි තහවුරු තිබේ. විස වායුව රුසියානුවන් විසින් නිර්මාණය කරන ලද්දකි. එහෙයින්, රුසියාව මෙම විස වායු ප්‍රහාරය පසුපස සිටිනවා යැයි චෝදනා එල්ල වී ඇත. රුසියාව එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

හමුදා කර්නල්වරයකු ද වුණු සර්ගේ ස්ක්‍රිපාල් රුසියානු ඔත්තුකරුවකු ලෙස කටයුතු කරද්දී, බ්‍රිතාන්‍යය වෙනුවෙන් ද ඔත්තු සැපැයීය. මෙය අනාවරණය වුණු පසු රුසියාව සර්ගේ ස්ක්‍රිපාල් සිරගත කළේය. බ්‍රිතාන්‍යයත් රුසියාවත් අතර සිරකරුවන් හුවමාරු කිරීමේ වැඩසටහනක් යටතේ සර්ගේ ස්ක්‍රිපාල් නිදහස් කර ගැනීමටත්, ඔහු සහ දියණිය බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමටත් බි්‍රතාන්‍යය කටයුතු කර තිබුණි.

(රොයිටර්)


RECOMMEND POSTS