පැසිෆික් වෙළෙඳ ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කරගන්නවා - ඩොනල්ඞ් ට්‍රම්ප්



 

 

නිව්යෝක්හිදීය (රොයිටර්)
ලෝක ආර්ථිකයෙන් සියයට 40 ක් නියෝජනය කරන, ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් 12 ක එකමුතුවෙන් ඇති කරගත් ‘ටී පීපී’ හෙවත් පැසිෆික් සහයෝගීතා වෙළෙඳ ගිවිසුමෙන්, ඇමෙරිකාව ඉවත්වන බව එරට ජනපති ධුරයට පත් වීමට නියමිත ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් පවසා ඇත්තේ තමා ජනපති ධුරයට පත් වන පළමු දිනයේ සිට ඇමෙරිකාව මෙම ‘ටී පීපී’ හෙවත් පැසිෆික් සහයෝගීතා වෙළෙඳ ගිවිසුමෙන් ඉවත් වන බවය. කෙසේ නමුත්, ඉන්පසු සිදුවන වෙනස්කම් එක රැයින් සිදු නොවනු ඇති බවත් ඊට ටික කාලයක් ගත වනු ඇති බවත් ට්‍රම්ප් වැඩි දුරටත් පවසා ඇත.
ඇමෙරිකානුවන්ගෙන් අහිමි වුණු ව්‍යාපාර සහ රැකියා යළි ඔවුන්ට ලබා දෙන බවට දුන් ඡන්ද පොරොන්දුවක් ද ට්‍රම්ප්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට හේතුවක් විය. 
‘ටී පීපී’ හෙවත් පැසිෆික් සහයෝගීතා වෙළෙඳ ගිවිසුම වැනි වෙළෙඳ ගිවිසුම්වලින් ඇමෙරිකානුවන්ට අසාධාරණයක් සිදුවන හෙයින් එවැනි ගිවිසුම් වහා නවත්වනවා යැයි ට්‍රම්ප් අවධාරණය කර ඇත.
පසුගිය නොවැම්බර් 8 වැනිදා පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් පසු, ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය ඉහළ ගොස් ඇතැයි නවතම ජනමත සමීක්ෂණවලින් හෙළි වී ඇත.
පොලිටිකෝ සහ මෝනින් කොන්සල්ට් සිදුකළ මෙම ජනමත සමීක්ෂණයෙන් පෙනී යන්නේ ඇමෙරිකානුවන්ගෙන් සියයට 46 දෙනකු ට්‍රම්ප් ගැන ලොකු පැහැදීමකින් පසුවන බවය. ට්‍රම්ප්ට ඡන්දය දුන් අය සහ නොදුන් අය මෙම පිරිස අතර සිටින බව ද පැවැසෙයි.

RECOMMEND POSTS