පැය 48 ක් ඇතුළත ධුරයෙන් ඉවත් වෙන්න



ඉම්රාන් ඛාන්ට අගමැති ධුරයෙන් ඉවත්වීමට තවත් පැය 48 ක් ලබා දෙන බව, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට රැස්වී සතියක් තිස්සේ විරෝධතා පවත්වන ජමායාත් උලෙමා ඉස්ලාම් ෆාසල් දේශපාලන පක්ෂයේ ක්‍රියාකාරීන් සහ ඔවුන්ට සහාය පළ කරන පාකිස්තාන විපක්ෂ දේශපාල ක්‍රියාකාරීන් පැවැසූ බව එරට පුවත් සේවා වාර්තා කළේය.

අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ රජයට එරෙහිව පාකිස්තානය පුරා විරෝධතා සංවිධානය කරනු ලබන්නේ දක්ෂිණාංශික මතධාරී, ආගමික සහ දේශපාලන නායකයකු ද වන ෆසුල් අල් රෙහ්මාන් විසිනි. අල් රෙහ්මාන්, ජමායාත් උලෙමා ඉස්ලාම් ෆාසල් දේශපාලන පකක්ෂයේ නායකයා ද වෙයි. ඉස්ලාම් ෆාසල් ට පාකිස්තානයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් වන පාකිස්තාන මුස්ලිම් ලීගය පක්ෂයේත්, පාකිස්තාන ජනතා පක්ෂයේත් සහාය හිමිවෙයි.

ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අගමැති ධුරයට පත් වූයේ, රට මූල්‍ය වශයෙන් දැඩි අර්බුදයකට ලක් වූ අවස්ථාවකය. රජයේ ඇමැතිවරුන්ගේ සහ ඉහළ නිලධාරීන්ගේ වියදම් කප්පාදු කිරීමට අගමැති ඉම්රාන් පියවර ගත්තේය. සෞදියෙන් සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් පාකිස්තානයට සහන ණය පැකේජ පවා හිමිවිය. ඒ, අගමැති ඉම්රාන් කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි.

අගමැති ඉම්රාන්ට ධුරයෙන් ඉවත් වෙන්නැයි බල කරමින් විරෝධතා පැවැත් වෙන්නේ, පාකිස්තානය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය දිනෙන් දින උත්සන්න වන බවත්, මැතිවරණ අක්‍රමිකතා සිදුවන බවටත් චෝදනා නගමිනි. අගමැති ඉම්රාන් පසුගිය වසරේ පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ පාකිස්තාන හමුදාවේ සහාය ලැබුණු නිසා බවටත් චෝදනා එල්ල වී ඇත.

ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS