පාප්තුමාගේ නිවස්නයේ අයකුටත් කොරෝනා



අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ජීවත්වන නිවස්නයේ ජිවත් වන පුද්ගලයකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ද ඔහු මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇතැයි ද වතිකානය නිවේදනය කළේය.  

එම පුද්ගලයා කවුරුදැයි තවමත් නිශ්චිතව නිවේදනය කර නොමැති අතර ඔහු ‘කොවිඩ්-19’ රෝග ලක්ෂණ පෙන්නුම් කර නැතැයි ද හෙතෙම ‘සැන්ටා මාර්තා’ නිවෙස්නයෙන් නික්ම ගොස් ඇතැයි ද වාර්තා වේ.

ඔහු මුණ ගැසුණු හා ඔහුගේ සෘජු ආශ්‍රිතයන් සියලු දෙනා ද මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

පාප් වහන්සේ සෙනසුරාදා, එනම් අද දිනයේදී සිය සුපුරුදු රාජකාරීවල යෙදුණු බවත් පුද්ගලයන් තිදෙනකු පෞද්ගලිකව මුණ ගැසුණු බවත් එමෙන්ම ඉතාලි පොලිසියේ විශාල පිරිසක් ආමන්ත්‍රණය කළ බවත් වතිකානය සඳහන් කළේය.

පාප්තුමා නිරන්තරයෙන් ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කරන බව ද වතිකානය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

පාප්තුමාට ඇත්තේ එක් පෙනහල්ලක් පමණි. තරුණ වියේදී කරන ලද සැත්කමකදී පාප්තුමාගේ එක් පෙනහල්ලක් ඉවත් කර ඇත.

වතිකානය යනු ඉතාලියේ රෝම නගරයෙන් වට වූ කුඩා නගර රාජ්‍යයකි. නව කොරෝනා වයිරසයෙන් වතිකාන නගරයට එල්ල වූයේ ඉතා සීමිත බලපෑමක් වන අතර වාර්තා වී ඇති වයිරස ආසාදිතයන්ගේ ගණන ද පනහකට අඩු ය.

පසුගිය සතියක කාලයේදී වතිකානයෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් තිදෙනකු හඳුනා ගැනුණු අතර ඔවුන් තිදෙනා මේ වනවිට සුවය ලබා ඇතැයි ද වතිකානය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

මේ අතර පාප්තුමාගේ ආරක්ෂාව යොදා සිටින ‘ස්විස් විශේෂිත ආරක්ෂිත බළකායේ’ සිවුදෙනකුට ද නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පසුගිය සතියේදී වාර්තා විය.

රොයිටර්


RECOMMEND POSTS