පාප්තුමා බංග්ලාදේශයේ



මියන්මාරයේ සිවුදින සංචාරය අවසන් කරමින් සුද්දෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ ඊයේ අසල්වැසි බංග්ලාදේශයට පැමිණියහ.

බංග්ලාදේශය මුස්ලිම් රාජ්‍යයකි. එහි ක්‍රිස්තියානු ප්‍රජාව සියයට 0.4 කි. මියන්මාරයේ සිට පැමිණි පාප්තුමා උණුසුම් ලෙස පිළිගැනීමට බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා සහ ඇගේ රජය කටයුතු කළාය. පාප්තුමන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබුණි.

ඩකා නුවරට කිලෝ මීටර් 30 ක් දුරින්, ආගම වෙනුවෙන් දිවි පිදූ විරුවන් වෙනුවෙන් සවාර් පළාතේ පැවැති ස්මාරකයට ගොස් ගෞරව කිරීමට ද පාප්තුමෝ කටයුතු කළහ. බංග්ලාදේශ බලධාරීන් පිරිවරාගෙන පාප්තුමෝ එහිදී පැළයක් ද රෝහපණය කළහ.

ඉන්පසු පාප්තුමා ජනපති මන්දිරයේ දී බංග්ලාදේශ ජනපති අබ්දුල් හමීද් හමුවී සාකච්ඡා පැවැත්වීය. මියන්මාරයේ සිට සරණාගතයන් ලෙස බංග්ලාදේශයට පැමිණ සිටින රොහින්ග්‍යා මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් පාප්තුමා මෙහිදී කරුණු විමසීමක් ද කළේය.

පණ බේරා ගනිමින් මියන්මාරයෙන් පලා ආ රොහින්ග්‍යා වැසියන් රැඳී සිටින්නේ බංග්ලාදේශයේ සහන කඳවුරුවලට. එම සහන කඳවුරු මේ වනවිට පිරීගොස් පවතී. එම මුස්ලිම් වැසියන් බාර ගැනීමට බංග්ලාදේශ රජයේ කැමැත්තක් ද නැත. රොහින්ග්‍යා මුස්ලිම් වැසියන්ගේ අවශ්‍යතා සොයා බලා ඔවුන් වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් පාප්තුමා බංග්ලාදේශ අගමැතිනිය ෂීක් හසීනා සහ රජයට විශේෂයෙන් ස්තුති කළේය.

බංග්ලාදේශ රජයට පමණක් තනිවම රොහින්ග්‍යා වැසියන් බලා ගැනීමට නොහැකි බවත්, ජාත්‍යන්තරයේ ආධාර ඔවුන්ට ලැබිය යුතු බවත් පාප්තුමා ඩකා නුවරදී අවධාරණය කළේය.

ඩකා අගනුවරදී බංග්ලාදේශ කිතුනුවන් වෙනුවෙන් පාප්තුමා විශේෂ දේව මෙහෙය පැවැත්වීය. ලක්ෂයකට ආසන්න පිරිසක් ඊට එක් වී සිටියේ යැයි ද වාර්තා විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS