පාකිස්තානට ආධාරදීම නවත්වයි



පාකිස්තානයට ලබා දෙන ඇමෙරිකන් ඩොලර් මිලියන 300 ක මුදල් ආධාර නැවැත්වීමට ඇමෙරිකාව තීරණය කළේය.

ඇමෙරිකාව අංශ කිහිපයකින්, පාකිස්තානයට ආධාරදීම සිදු කරන අතර, ඔවුන් මෙම ඩොලර් මිලියන 300 ක මුදල ලබා දුන්නේ, පාකිස්තානය ත්‍රස්තවාදීන්ට එරෙහිව නිසි ක්‍රියා මාර්ග ගනීවි යැයි විශ්වාසයකින් යැයි පැවැසෙයි.

කෙසේ නමුත් ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට පාකිස්තාන නවාස් ෂරීෆ්ගේ රජය හෝ වත්මන් ඉම්රාන් ඛාන්ගේ නව රජය හෝ පැහැදිලි ක්‍රියා මාර්ග ගෙන නැති බවට ඇමෙරිකාව චෝදනා කරයි. ආධාර ලබා දීම නවතා දැමුණේ ඒ අනුවය.

ඇමෙරිකාව පාකිස්තානය සම්බන්ධයෙන් මෙම තීරණය ගත්තේ ඒ බව අවස්ථා කිහිපයකදී පාකිස්තානට අනතුරු ඇඟවීමෙන් ද පසුවය. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව දිගින් දිගටම චෝදනා කර ඇත්තේ, පාකිස්තානය ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානවලට පමණක් නොව, අසල්වැසි ඇෆ්ගනිස්තානයේ තලේබාන් ත්‍රස්ත සංවිධානයට ද සහාය දක්වන බවටය.

පාකිස්තානයේ ක්‍රියාත්මක වන්නේ ‘හක්කානී’ නමැති ඉස්ලාමීය ත්‍රස්ත ජාලයයි. මොවුන්ට පාකිස්තාන රජයේත්, බුද්ධි අංශයේත් සහාය සහ අනුග්‍රහය ලැබෙන බව ඇමෙරිකාව කියයි. පාකිස්තානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පාකිස්තානය නම් කර ඇත්තේ ‘ත්‍රස්තවාදීන්ගේ පාරාදීසය’ යන නමිනි.

‘ත්‍රස්තවාදයට එරෙහි සටනේදී, ඇමෙරිකාවේ සමීපතම මිතුරකු ලෙස තවදුරටත් පාකිස්තානය පිළිගැනීමට හැකියාව නැහැ. පාකිස්තානයට අප නිරන්තරයෙන් දැනුම් දුන්නා ඔවුන්ගේ පිළිවෙත වෙනස් කරන්න. ඒත් එහෙම වුණේ නැහැ. එහෙයින් ආධාර ලබා දීම නැවැත්වීමට තීරණය කළා’ යැයි ඇමෙරිකා ආරක්ෂක අමත්‍යාංශය වෙනුවෙන් එහි ප්‍රකාශක ලුතිනන් කර්නල් කෝන් ෆොල්ක්නර් මාධ්‍ය හමුවේ අදහස් දක්වා ඇත.

පාකිස්තානයට මුදල් ආධාර දීමෙන් පලක් නොවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙම වසර මුලදී කියා සිටියේය. එම තීරණය පසුගිය දා කොංග්‍රස් මණ්ඩලයට යොමු කෙරුණු අතර, එහිදී කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ඊට හිමිවිය. ඒ අනුව, මුදල් ආධාර නැවැත්වීම සිදුවිය.

ඇමෙරිකාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ 2001 වසරේදීය. ඒ, එවකට පැවැති තලේබාන් පාලනය පෙරලා දමමිනි. තලේබාන්වරුන් ඇමෙරිකාවට පහර දුන් අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ට සහාය පළ කිරීමත්, ඔහුට රැකවරණය දීමත් මීට හේතුව විය.

ඇෆ්ගනිස්තානය ආක්‍රමණයට පැමිණි ඇමෙරිකාව ඇතුළු විදෙස් හමුදාවලට පාකිස්තාන දේශසීමාවේ රැඳී සිටීමට පාකිස්තාන රජයෙන් අවසර හිමිවිය. ඒ වනවිට පාකිස්තානයේ අගමැති ධුරය හෙබවූයේ පර්වේස් මුෂාරෆ්ය. ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ජෝර්ජ් බුෂ්ය.

ඇෆ්ගනිස්තානයේ අල් කයිඩා ත්‍රස්තයන්ට එරෙහිව සටන් වැදීමට, පාකිස්තානයේ සහාය ඇමෙරිකාව ඇතුළු විදෙස් හමුදාවලට හිමිවුවත්, පාකිස්තාන රජයත් එරට අයි.එස්. බුද්ධි අංශයත් රහසේ ඇෆ්ගන් තලේබාන්වරුන්ට සහාය දෙන බවට චෝදනා නැගෙන්න විය. පාකිස්තානය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

ඇමෙරිකාවෙන් පාකිස්තානයට මූල්‍යමය අනුග්‍රහයක් ලැබුණේ ද පාකිස්තානය මෙසේ ඇමෙරිකාවට සහාය දැක්වීම හේතුවෙනි. ඉන්දියාවට පහර දීමටත්, ඉන්දු පාකිස්තාන දේශසීමාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමටත්, පාකිස්තානය ‘හක්කානී’ ත්‍රස්ත ජාලයේ සහාය ලබා ගන්නවා යැයි ට්‍රම්ප්ට පෙර ජනාධිපති ධුරයේ සිටි බැරැක් ඔබාමා පවා චෝදනා කර ඇත. ඔබාමා ජනාධිපති ධුරය හොබවද්දී, 2011 වසරේ අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දැමුණි. ඒ වනවිට බින් ලාඩන් සැඟවී සිටියේ පාකිස්තානයේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS