ප්‍රංශ තුර්කි ජනපතිවරුන් අතරේ අර්බුදයක්



ප්‍රංශයේ වෛසන මුස්ලිම්වරුන්ට දිගින් දිගටම කෙණෙහිලිකම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ රජය කටයුතු කරනවා යැයි තුර්කි ජනාධිපති රජෙප් තායිප් එර්දොවාන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් අර්බුදයක් නිර්මාණය වී ඇත.

ප්‍රංශ ජනාධිපති මැක්රොන් උමතුවෙන් තීන්දු තීරණ ගනිමින් ප්‍රංශ මුස්ලිම්වරුන් සියලු දෙනා ත්‍රස්තවාදීන් සේ සලකා ඔවුන් මර්දනය කරන බවට ද තුර්කි ජනාධිපති එර්දොවාන් දොස් නගා තිබේ. තුර්කි ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන්, ප්‍රංශ ජනපති මැක්රොන්, ප්‍රංශයේ පැරිස් අගනුවර තුර්කි තානාපති කැඳවා ප්‍රශ්න කර ඇතැයි ද විදෙස් පුවත් සේවා වර්තා කර තිබේ.

මීට දින කීපයකට පෙර, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කළ ප්‍රංශ ගුරුවරයකු ඉස්ලාම් අන්තවාදී තරුණයකු අතින් ඝාතනය විය.

43 හැවිරිදි සැමුවෙල් පැටී නමැති එම ගුරුවරයා ප්‍රංශයේ පළ වන චාලි හෙබ්බෝ නමැති සඟරාව උදාහරණයට ගනිමින් පාසල් සිසුන් දැනුවත් කර ඇති අතර, නබිනායකතුමාට අපහාස වන කාටූන් චාලි හෙබ්බෝ සඟරාවේ පළ වී තිබුණි.

සැමුවෙල් පැටී, මරා දැමුණේ පාසල ඉදිරිපිටදීය. ඔහුගේ ගෙල සිඳ දැමූ මුස්ලිම් අන්තවාදී තරුණයා පොලිස් වෙඩි පහරින් පසුව මියගියේය. එම තරුණයා රුසියාවේ සිට සරණාගතයකු ලෙස ප්‍රංශයට ආ චෙච්නියානු මුස්ලිම් වැසියෙකි.

ඝාතකයාට සැමුවෙල් පැටී සම්බන්ධයෙන් විස්තර ලබා දී ඇත්තේත්, පැටී කවුරුන්දැයි පෙන්වා ඇත්තේත් පාසලේ සිසුන් පිරිසකි. මුස්ලිම් ජාතිකයන් වන ඔවුන් පොලිසිය විසින් රඳවා ගනිමින් ප්‍රශ්න කළ බව ද පැවැසෙයි. ඊට අමතරව ප්‍රංශ ත්‍රස්ත මර්දන ඒකකය ඉස්ලාමීය තරුණ තරුණියෝ සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරන බව ද පැවැසෙයි.

පැරිසියේදීය (ඒ.එෆ්.පී.)‍


RECOMMEND POSTS