ප්‍රංශ ජනපතිගේ තත්ත්වය යහපත්



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වූ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව, ප්‍රංශ ජනාධිපති මන්දිරය වන ඉලීසේ මාලිගය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

42 හැවිරිදි මැක්රොන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු යැයි තහවුරු වූයේ පසුගිය 17 වැනිදාය. ඒ, සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයක් පෙන්නුම් කිරීමත් සමඟය. ජනාධිපතිවරයා කඩිනමින් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ අතර, ඔහු ආසාදිතයකු බව එහිදී හඳුනා ගැණුනි. ජනාධිපති මැක්රොන් තවමත් සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයෙන් පසුවන නමුත්, ඔහුගේ සෞඛ්‍ය ගැන බියක් ඇතිකර ගැනීමට හේතුවක් නැතැයි වෛද්‍යවරුන් පැහැදිලි කර තිබේ.

වෛද්‍ය අධීක්ෂණය යටතේ හුදෙකලා වී සිටින මැක්රොන්, වීඩියෝ පණිවුඩ හුවමුරු ඔස්සේ රාජකාරි වැඩ සිදු කරන බව ඉලීසේ මාලිගය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. ප්‍රංශය මේ වනවිට මුහුණ පා සිටින්නේ ‘කොවිඩ් 19’ වයිරසයේ දෙවැනි රැල්ලටය. ගතවුණු පැය 24 ඇතුළත පමණක් ප්‍රංශයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 18,245 ක් යැයි ප්‍රංශ පුවත් සේවා ඊයේ (19) වාර්තා කළේය.

පැරිසියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS