ප්‍රංශ ජනපති ලෙස මැක්රොන් දිවුරුම් දෙයි



මීට සතියකට පෙර පැවැති ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ‘ඔන් මාර්ෂ්’ පක්ෂයේ නායක මැදිමතධාරී ඉමැනුවෙල් මැක්රොන්, පැරිස් අගනුවර ‘ඉලීසේ පැලස්’ ජනපති මන්දිරයේ දී ප්‍රංශ ජනපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

නේපෝලියන් බොනබාට්ගෙන් පසු ප්‍රංශයට පහළ වුණු ළාබාලතම ජනපතිවරයා වන්නේ 39 හැවිරිදි මැක්රොන්ය.

ධුරයෙන් සමුගන්නා ජනපති ෆ්‍රන්සුවා ඕලන්ද්ගෙන් මැක්රොන්ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ඕලන්ද් මෙන්ම මැක්රොන් ද යුරෝපා සංගමයට හිතැති ජනපතිවරයෙකි. මැදමතධාරියකු නිසා මැක්රොන්ගේ ප්‍රතිපත්ති ඕලන්ද්ගේ ප්‍රතිපත්තිවලට වඩා වෙනස් වෙයි.

මැක්රොන් ප්‍රංශ ජනපතිවරයා ලෙස දිවුරුම් දුන් පසු, ධුරයෙන් සමුගත් ඕලන්ද් රැස්ව සිටි සැමට ආචාර කරමින් පිටවී ගියේය.

මැක්රොන් ඉලීසේ පැලස් මන්දිරයට පැමිණියේ හමුදා උත්තමාචාර මැදය. එම අවස්ථාවේදී පොද වැස්සක් ද ඇද හැලුණේය. මැක්රොන්ට සුබ පැතීමට ඔහුගේ පක්ෂ ආධාරකරුවෝ දහස් ගණනක් වීදි දෙපස රැස්වී සිටියහ.

මැක්රොන් විවාහ වී සිටින්නේ ඔහුට වඩා වයස අවුරුදු 24 කින් වැඩිමල් බ්‍රිජෙත් ත්‍රොග්නෝව් සමඟය. ඇය සහ ඇගේ පළමු කසාදයේ දියණියෝ දෙදෙනා ද දිවුරුම්දීමේ උලෙළ වෙනුවෙන් ‘ඉලීසේ පැලස්’ ජනපති මන්දිරයට පැමිණ සිටියාහ. බ්‍රිජෙත් අත්තම්මා කෙනෙකු ද වන්නීය.

(ප්‍රංශ පුවත් සේවා ඇසුරිනි)

 


RECOMMEND POSTS