පරිසරයට හානිවන ගොඩනැගිලි කඩා දැමේ



පරිසර නීති උල්ලංඝනය කරමින්, පරිසරයට හානි වන ආකාරයට ඉදිකළ සුඛෝපබෝගී මහල් නිවාස ගොඩනැගිලි දෙකක්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් පසුගිදා කඩා දැමුණි.

පුපුරුවා කඩා දැමුණේ, කේරළ ප්‍රාන්තයේ වෙරළ තීරය ආසන්නයේ ඉදි කළ මහල් නිවාස ගොඩනැගිලි දෙකකි. ශ්‍රේෂ්ඨාධිකරණය ගොඩනැගිලි කඩා දැමීමට නියෝග කළේ ‘කේරළ වෙරළාශ්‍රිත කලාප කළමනාකරණ අධිකාරිය’ කළ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමිණි.

මහල් නිවාස ගොඩනැගිලි කඩා දැමීමෙන් 2,000 කට ආසන්න පිරිසකට උන්හිටිතැන් අහිමි වුණු බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ. මහල් නිවාස මිලදී ගෙන සහ පදිංචි වූ පිරිස් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමට ද ගොඩනැගිලි ඉදි කළ සමාගම්වලට නියෝග කෙරුණි.

මෙම ගොඩනැගිලි ඉදි කර ඇතැයි පැවැසෙන්නේ, වෙරළ තීරයට හානිවන ආකාරයටය. 2018 දී කේරළයේ ජල ගැලීම් හටගත්තේ ද මෙම ගොඩනැගිලි නිසා යැයි පරිසරවේදීන් පෙන්වා දී ඇත.

කඩා දැමුණේ ‘එච්2ඕ හොලි ෆේත්’ සහ අල්ෆා නිවුන් කුලුනු යන ගොඩනැගිලි බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ. ‘එච්2ඕ හොලි ෆේත්’ ගොඩනැගිල්ල මහල් නිවාස 90 කින් සමන්විත විය. ගොනැගිල්ල පුපුරුවා බිමට සමතලා කිරීමට ගතවූයේ තත්පර කීපයක් යැයි පැවැසෙයි.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS