පතලක 15 ක් දින 17 ක් හිරවෙලා



ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ ගල් අගුරු පතලක දින 17 ක් තිස්සේ සිරවී සිටින පතල් සේවකයන් 15 දෙනා බේරා ගැනීමට ඉන්දීය නාවික හමුදාව ඉදිරිපත් වී සිටී.

පතල් සේවකයන් සිරවී සිටින්නේ නීතිවිරෝධී ආකාරයට කැණීම් සිදු කළ පතලකය. මෙය හැඳින්වෙන්නේ ‘මී ගුල’ යනුවෙන් යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. පසුගිය 13 වැනිදා, අධික වර්ෂාව හේතුවෙන් පතල අසල ගංගාව පිටාර ගලා පතල ජලයෙන් පිරී ගියේය. සේවකයන් 15 දෙනා පතලේ සිරවූයේ ඒ අනුවය.

පතල් සේවකයන් පිරිස යහතින් සිටිනවාදැයි මෙතෙක් තහවුරු වී නොමැති නමුත්, පතලේ ගැඹුරින් වායු කුහර රැසක් ඇති බැවින්, ඔවුන් යහතින් ඇතැයි විශ්වාස කෙරේ. සේවකයන් පිරිස පතල තුළ සිරවුණු බව සැලවීමත් සමඟ, ඉන්දියාවේ ජාතික ආපදා සහන බළකාය සහ ප්‍රාන්ත ආපදා සහන බළකාය වහා ක්‍රියාත්මක වී, දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළේය. පතලේ පිරී ඇති ජලය පොම්ප කරමින් ඉවත් කිරීම ද කඩිණමින් ආරම්භ විය.

කෙසේ නමුත් අවශ්‍ය පහසුකම් සහ ප්‍රමාණවත් අත්දැකීම් නොමැතිකම නිසා සහන සේවා නිලධාරීන්ට පිරිස බේරා ගැනීමට නොහැකි විය. ඔවුන්ට හැකිවූයේ සිරවුණු සේවකයන් පැළැඳ සිටි හෙල්මට් තුනක් සොයා ගැනීමට පමණක් යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දීය නාවික හමුදාව සහාය දැක්වීමට කැමැත්ත පළ කර ඇත්තේ ඒ අනුවය.

මේඝාලය යනු ඉන්දියාවේ වයඹ දෙසින් පිහිටි දිස්ත්‍රික්ක 11 කින් සමන්විත ප්‍රාන්තයකි. මේඝාලය සංස්කෘත වදනක් වන අතර, එහි අර්ථය ‘වලාකුළුවලට ඉහළින්’ යන්නය. 2016 වසරේ සිදුකළ සංගනනයකට අනුව, මේඝාලයේ ජනගහනය 3,211,474 කි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS