නොබෙල් තෑග්ගට මම සුදුසු නෑ



ඉන්දියාවත් පාකිස්තානයත් අතර හටගත් අර්බුදය කඩිනමින් සමතයකට පත් කර ගැනීමට හැකිවුණු බැවින්, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුතු යැයි පාකිස්තාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් අගමැති ඉම්රාන් පවසා ඇත්තේ නොබෙල් සාම ත්‍යාගය ලැබීමට තමන් සුදුස්සකු නොවන බවය.

ඉන්දීය අගමැතිවරයා මේ බව කියා සිටියේ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි. ඉන්දියාවත් පාකිස්තානයත් න්‍යෂ්ටික බලවතුන්ය. පසුගිය සතියේ සිදුවුණු සිදුවීම් හේතුවෙන් දෙරට අතර යුද බියක් නිර්මාණය විය.

පාකිස්තාන ගුවන් හමුදාව විසින් පහර දී බිම හෙලූ ඉන්දීය මිග් යානයේ නියමුවා අභිනන්දන් වර්තමාන් නිදහස් කිරීමටත්, ඔහු ඉන්දියාවට බාරදීමටත් අගමැති ඉම්රාන් ඉකුත් පළමු වැනිදා කටයුතු කළේය. ඒ අනුව, ඉන්දු පාකිස්තාන යුද බිය තරමක් යටත් වුණු අතර, ඉම්රාන් ගත් තීරණය ජාත්‍යන්තරයේ ද පැසැසුමට ලක් විය.

අභිනන්දන් වර්තමාන් නිදහස් කිරීම සම්බන්ධයෙන්, ඉන්දියාව පවසා ඇත්තේ, ඇමෙරිකාවේත්, සෞදියේත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේත් බලපෑම මත පාකිස්තානයට අභිනන්දන් වර්තමාන් නිදහස් කිරීමට සිදුවුණු බවය.

ප්‍රහාරක නියමුවා නිදහස් කිරීමෙන් පසුව තවමත් ඉන්දු පාකිස්තාන කාශ්මීරයේ ඉන්දීය හමුදාවත් පාකිස්තාන හමුදාවත් ඔවුන්ගේ හමුදා මුරපොළ ඉලක්ක කර ගනිමින් ෂෙල් වෙඩි හුවමාරු කර ගනිමින් සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඊට අමතරව, ඉන්දු කාශ්මීරයේ මුස්ලිම් සිවිල් වැසියන්ට, ඉන්දීය ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් දිගින් දිගටම කෙනහිලිකම් එල්ලවන බව පාකිස්තානය චෝදනා නගා ඇත. කාශ්මීරයේ පවතින ගැටුම් හේතුවෙන් සහ නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන්, කාශ්මීර වැසියෝ ආරක්ෂිත ස්ථාන වෙත ගොස් ඇති බව ද වාර්තා වේ.

ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුසය නිර්මාණය වූයේ ඉන්දු කාශ්මීරයේ, පුල්වාමා දිස්ත්‍රික්කයේ, ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් (දේශසීමා පොලිස් භටයන්) ගමන් කරමින් සිටි බස් සහ ලොරි රථවලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුවය. ප්‍රහාරය එල්ල වූයේ පසුගිය 14 වැනිදාය.

ප්‍රහාරයේ වගකීම පාකිස්තානයේ ‘ජායිෂ් ඊ මොහොමද්’ ත්‍රස්ත කල්ලිය විසින් බාර ගනු ලැබිණි. මෙම ත්‍රස්ත කල්ලියට පාකිස්තාන රජයේත් එරට අයි.එස්.අයි. බුද්ධි අංශයේත් අනුග්‍රහය ලැබෙනවා යැයි චෝදනා එල්ල වී ඇත. මෙම චෝදනා ඉන්දියාව පමණක් නොව, ඇමෙරිකාව පවා තහවුරු කර තිබේ.

එම ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව පාකිස්තාන ගුවන් සීමාව උල්ලංගනය කරමින් පසුගිය 26 වැනිදා පාකිස්තානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. ඊට ප්‍රතිචාර දක්වමින්, පාකිස්තාන ගුවන් හමුදාව ඉකුත් 27 වැනිදා ඉන්දීය මිග් යානා ඉලක්ක කර ගනිමින් පහර දුන්නේය. ඉන්දීය ප්‍රහාරක යානා ගුවන් නියමුවා පාකිස්තාන හමුදා අත්අඩංගුවට පත් වූයේ ඉන්පසුවය.

අගමැති ඉම්රාන් ඛාන්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුතු යැයි යෝජනාවක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ ඉකුත් සති අන්තයේය. එම යෝජනාව ඉදිරිපත් කළේ පාකිස්තාන තොරතුරු ඇමැති ෆාවාද් චෞද්‍රිය. ඒ, ඉන්දියාවත් පාකිස්තානයත් අතර නිර්මාණය වූ යුද උණුසුම කඩිනමින් සමථයකට පත් කර ගැනීමට අගමැති ඉම්රාන් මැදිහත් වී කටයුතු කළේ යැයි පෙන්වා දෙමිනි.

‘ඉන්දු පාකිස්තාන අර්බුදය සමථයකට පත් කරන්න මා කිසිවක් කළේ නැහැ. මා කළේ අවස්ථානුකූලව නිවැරදි තීරණය ගැනීම පමණයි. සාමකාමීව කාශ්මීර අර්බුදයට විසඳුමක් ලබා දෙන්න කෙනකුට පුළුවන් නම් අන්න ඒ කෙනාට නොබෙල් සාම ත්‍යාගය හිමි වෙන්න ඕනෑ’ යැයි පාකිස්තාන අගමැති ඉම්රාන් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

පුල්වාමා දිස්ත්‍රික්කයේ ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන්ට ඉලක්ක කර ගනිමින් ඉකුත් 14 වැනිදා ජායිෂ් ඊ මොහොමද් ත්‍රස්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු, අගමැති ඉම්රාන් ඛාන් අවස්ථා කීපයකදී, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අමතමින් පවසා ඇත්තේ, ප්‍රහාරය සිදු කළේ කවුරුන් වුණත්, විශේෂ පරීක්ෂණයක් පවත්වා ඒ ගැන සොයා බලා වරදකරුවන්ට දඬුවම් කරන්න ඉඩ දෙන ලෙසය.

තමන් පතාන් පුත්‍රයකු හෙයින්, තම වචනය විශ්වාස කරන්නැයි ද අගමැති ඉම්රාන් ඉන්දීය අගමැති මෝදිගෙන් ඉල්ලීමක් ද කළේය. පතාන් යනු, ඉරාන සම්භවයක් ඇති ජන කොට්ඨාශයකි. පාකිස්තානයේ පන්ජාබ් බලාතේ මුල් පදිංචිකරුවන් වන්නේ මොවුන්ය. අගමැති ඉම්රාන් ඛාන් පතාන්වරුන්ගේ පෙළපතට අයත්ය.

පතාන්වරුන් යමක් පැවැසුවොත් එය වෙනස් වන්නේ නැත. තම වචනයට තමන් ගරු කරන බවත් එය තමන් කඩන්නේ නැති බවත් ඉම්රාන් පැවැසුයේ එහෙයිනි.

ඉන්දියාවත් පාකිස්තානයත් අතර හටගත් අර්බුදයෙන් ඉන්දීය අගමැති නඓ්න්ද්‍ර මෝදි ඡන්ද වාසි ලබා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එහෙයින්, ලබන අප්‍රේල් සහ මැයි මාසවල පැවැත්වෙන මැතිවරණය මුල්කොට ගනිමින් මෝදි මෙම අවස්ථාවේ පාකිස්තානය සමඟ කිසිදු සාම යෝජනාවලියකට කැමැත්ත පළ කරනු නැති බව ද දේශපාලන විශ්ලේෂකයෝ වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

ඉස්ලාමාබාද්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS