නිව්යෝක් පදිකයන් මැදට මෝටර් රථයක් කඩා වදී



ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ටයිම්ස් චතුරස්‍රයේ පදිකයන් මැදට මෝටර් රථයක් කඩා වැදුණි.

අධික වේගයෙන් ආ මෝටර් රථයේ හැපී ඊට යටවීමෙන් 18 හැවිරිදි යුවතියක් ජීවිතක්ෂයට පත්වූවාය. තවත් 23 දෙනෙක් තුවාල ලැබූහ. මෝටර් රථය පැදවූයේ 26 හැවිරිදි රිචඞ් රෝජාද් නමැත්තා යැයි පසුව අනාවරණය විය.

රෝජාද් ඇමෙරිකන් නාවික හමුදා නිලධාරියකු ලෙස සේවය කරන අයකු බව ද පොලිසිය විසින් අනාවරණය කරනු ලැබ ඇත. මොහු මීට පෙර අවස්ථා කිහිපයකදී බීමතින් රිය පදවා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අයකු යැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.

පදිකයන් අතරට කඩා වැදුණු මෝටර් රථය, මීටර් 300 කට වැඩි දුරක් ධාවනය විය. එය නැවැතුණේ මාර්ගය අසල මාර්ග බාධක කණුවක හැපීමෙන් පසුවය. එයින්, මෝටර් රථයට හානි සිදුවිය. මෝටර් කාරය එසේ හැපී නතර වුණු අවස්ථාවේදී, රථයෙන් පිටකට පැනගත් රිචඞ් රෝජාද් වියරුවෙන් හැසිරෙන්න විය. පොලිසිය වට කළ අවස්ථාවේ, තමා හිතාමතා පිරිස් යට කළ බවටත් තමාට වෙඩි තබන ලෙසටත් ඔහු කෑ කෝ ගසන්න වූයේය.

එම අවස්ථාවේදී අවි අමෝරා ගත් පොලිස් නිලධාරීහු වහා ඔහු වෙත කඩා පැන ඔහු මෙල්ල කරගෙන මාංචු දැමූහ. එම අවස්ථාවේදී රිචඞ් රෝජාද් මත්කුඩු පාවිච්චි කර සිටියේ යැයි ද පොලිසිය වැඩි දුරටත් කියා සිටියේය.

මෝටර් රථ යොදා ගනිමින් පදිකයන් යට කරමින් ප්‍රහාර එල්ල කිරීම අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාවකි. පසුගිය කාලයේ ලන්ඩන් නුවර, බර්ලීන් නුවර, ප්‍රංශයේ පැරිස් නුවර, ඊශ්‍රායලයේ ප්‍රධාන නගරවල සහ ස්වීඩනයේ මේ අයුරින් මෝටර් රථ යොදා ගනිමින් පදිකයන් යට කරමින් ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තයෝ කටයුතු කළහ.

එහෙයින්, නිව්යෝක් නුවර පදිකයන් යට කරමින් මෝටර් රථය කඩා වදිද්දී, බොහෝ දෙනා සිතුවේ එය ත්‍රස්ත ප්‍රහාරයක් කියාය. කෙසේ නමුත් එය එසේ නොවන බවත්, ඇමෙරිකානු පුරවැසියකු වන රිචඞ් රෝජාද් කිසිදු ඉස්ලාමීය සංවිධානයකට සම්බන්ධ අයකු නොවන බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවිය.

‘සිදුවූයේ ත්‍රස්ත ප්‍රහාරයක් නොවෙයි. සිද්ධිය ගැන පරීක්ෂණ දිගටම පැවැත්වෙනවා.’ යැයි නිව්යෝක් පුරපති බිල් දෙ බ්ලැසියෝ මාධ්‍ය හමුවක් පවත්වමින් විශේෂ ප්‍රකාශයක් කළේය.

මෝටර් රථයේ හැපීමෙන් මියගිය 18 හැවිරිදි තරුණිය ගැන ද පුරපතිවරයා වැඩි දුරටත් අනාවරණය කළේය. මියගියේ ඇලිසා එල්ස්මන් නමැත්තියයි. ඇය එම අවස්ථාවේ ඇය ඇගේ අවුරුදු 13 ක් වයසැති බාල නැගණිය සිට ඇත. එම නැගණිය ද මෝටර් රථයේ ගැටී තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

නිව්යෝක් නුවර ටයිම්ස් චතුරස්‍රය යනු ලොව අතිශයින් කාර්යබහුල ජනාකීර්ණ ස්ථානවලින් එකකි. සෑම දිනෙකම මෙම ස්ථානයෙන් පදිකයෝ 3,30,000 ක් ගමන් කරන බව පැවැසෙයි. සිද්ධියෙන් පසු ටයිම් චතුරස්‍රය තාවකාලිකව වසා දැමීමට ද පොලිසිය කටයුතු කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS