නායකයා දකුණු කොරියා ප්‍රසංගයක් නරඹලා



දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය ‘කේ පොප්’ සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක්, උතුරු කොරියාවේ ප්යොංග්යැංග් අගනුවරදී පැවැත්වුණු අතර, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් බිරිය ද සමඟ එය නැරැඹීමට ගිය බව වාර්තා වේ.

‘කේ පොප්’ පොප් සංගීත ප්‍රසංගය නැරැඹීමට පසු වේදිකාවෙන් පසුපසට ගොස් ගායක කණ්ඩායම හමුවී ඔවුන් සමඟ සුහදව කතාබහ කළේය. උතුරු කොරියානු නායකයා කේ පොප් සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක් නැරැඹූ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

එය අපූරු ප්‍රසංගයක් බවත්, එම ප්‍රසංගය නැරැඹීමෙන් තමන් හැඟීම්බර වුණු බවත් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පසුව මාධ්‍ය හමුවේ කියා සිටියේය.

උතුරු කොරියානු නායකයාගේ බිරිඳ හිටපු පොප් ගායිකාවකි. ඇය රී සොල් ජුන්ය. නායකයා ඇයට පෙම් බැඳ ඇය සමඟ විවාහ වී ඇත්තේ ඇගේ ප්‍රසංගයක් නැරැඹීමෙන් පසුව යැයි ද විදෙස් පුවත් සේවා මතක් කර දෙයි.

කොරියානු යුද්ධයෙන් පසු, මත ගැටුම් හේතුවෙන් උතුරු සහ දකුණු වශයෙන් වෙන්වී සිටින්නේ එකම ජාතියකි. ‘කේ පොප්’ සංගීත කණ්ඩායම උතුරු කොරියාවේ ප්‍රසංගයක් පැවැත්වූයේ දකුණු කොරියානු රජයේ ද මෙහෙයවීමෙනි. දෙරට අතර නිර්මාණය වෙමින් පවතින සුහදත්වය තව තවත් වර්ධනය කර ගැනීමට එම ප්‍රසංගය ඉවහල් වුණැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS