නවාස් ෂරීෆ්ගේ සොයුරා අගමැති ධුරයට



අගමැති ධුරය දැරීමට සුදුසු නැතැයි, ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් පසු, ධුරයෙන් ඉල්ලා අස්වුණු අගමැති නවාස් ෂරීෆ් වෙනුවට, ඔහුගේ සොයුරු ෂබාස් ෂරීෆ් පත්වීමට ඉඩ ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි.

පාලක පක්ෂය වන ‘පාකිස්තාන මුස්ලිම් ලීගය නවාස්’ ෂබාස් ෂරීෆ් නම් කිරීමට සූදානමින් සිටින අතර, ඊට පෙර, ඔහුට අගමැතිධුර අපේක්ෂක ලෙස ජාතික මන්ත්‍රණ සභාවේ අනුමැතිය හිමිවිය යුතුව ඇත.

නවාස් ෂරීෆ් සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ පසුගිය සිකුරාදාය. ඒ, ඔහුට එරෙහිව එල්ල වී තිබුණු අයථා මූල්‍ය වත්කම් චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකරු වීමෙනි.

පස් පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව තීන්දු කළේ අගමැති ධුරය හොබවීමට නවාස් ෂරීෆ් සුදුස්සකු නොවන බවය. එම තීන්දුවෙන් පසු ෂරීෆ් ධුරයට සමුදුන්නේය.

මේ වනවිට පාකිස්තානයේ ඛනිජ තෙල් අමාත්‍ය ෂහීඞ් ඛාකාන් අබාසි අන්තර්වාර අගමැති ලෙස කටයුතු කරයි.

65 හැවිරිදි ෂබාස් ෂරීෆ් මේ වනවිට පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ මහ ඇමැති ලෙස කටයුතු කරයි. ඔහු අගමැති ධුරයට පත් වීමට නම් පැවැත්වෙන අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ යුතු වෙයි. ඒ සඳහා තවත් දින 45 ක කාලයක් ගත වනු ඇතැයි පැවැසෙයි.

එල්ල වුණු චෝදනා සම්බන්ධයෙන් තමා නිවැරදිකරු යැයි නවාස් ෂරීෆ් දිගින් දිගටම පවසා ඇත. ෂබාස් ෂරීෆ් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෂරීෆ් කියා ඇත්තේ, තම සොයුරා අගමැති ධුරයට පත්වන්නේ නම්, තමාගේ සහාය නොඅඩුව ඔහුට ලබා දෙන බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS